Connect with us

පුවත්

“එක්සත් ජාතික පක්ෂය කියා නමක් තිබුණාට පක්ෂයක් නැහැ”

Published

on

ජාතික ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් තරුණ රැලිය ඊයේ (09) තංගල්ලේ දී පැවැත්විණි.

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැලිය පැවැත්විණි.

එහිදී අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේ  තරුණ තරුණියන්ගේ සිහින යථාර්ථයක් කර ගත හැකි ආර්ථිකයක් ගොඩනැඟිය යුතු බවයි.

රැළිය අමතමින් අනුර කුමාර දිසානායක මහතා පැවැත්වූ සම්පූර්ණ කතාව,

තමන්ගේ ජනප්‍රියතාවය කඩා වැටෙමින් තිබෙන බවත්, මේ රටේ ජනතාව ජාතික ජන බලවේගය වටා වේගයෙන් රොද බැඳගෙන තිබෙන බවත් ආණ්ඩුව තේරුම් ගනිමින් ඉන්නවා. ඒ නිසා විවිධ දේවල් කියමින් උත්සාහ කරමින් ඉන්නවා ඡන්දය නොතියා යන්න පුළුවන්ද කියා බලන්න. ඉතිහාසයේ මෙවැනි තත්වයන් තිබුණා. 1980 ගණන්වල මුල පාර්ලිමේන්තු මහ මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබුණා, නමුත් මහ මැතිවරණය තිබ්බේ නැහැ. ජනතාව පාර්ලිමේන්තුව තෝරා ගත්තේ වසර පහකට. ජේ.ආර්. කළේ ඒ වසර පහ, දහයක් කර ගැනීමයි. ඒ වෙලාවේ එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් ව්‍යාපාරයක්. රටේ තරුණ පරම්පරාව දේශපාලනයට උනන්දුව නොදක්වපු කාලයක්. සමාජ මාධ්‍ය ජාලය ප්‍රචලිත නොවූ කාලයක්. ඒ නිසා ජේ.ආර්. ජයවර්ධනට ඒ වැඩේ කරන්න පුළුවන්කම තිබුණා. දැන් බෑනත් කල්පනා කරනවා ඒ වැඩේ කරන්න පුළුවන්ද කියලා. එක්සත් ජාතික පක්ෂය කියා නමක් තිබුණාට පක්ෂයක් නැහැ. ජනතා කැමැත්තක් ඇත්තේත් නැහැ. තරුණ පරම්පරාව අවදියෙන් වගේම තරුණ පරම්පරාව මැදිහත්වෙලා පාලකයන් පලවා හැර තිබෙනවා. රනිල් මොනවා කළත් ජනාධිපතිවරණය පවත්වන්න සිදුවෙනවා.

ඉතිහාසයට ආපසු ගියොත්, ඡන්දවලින් ආණ්ඩු මාරුවී තිබෙනවා. ඡන්දවලින් ආණ්ඩු මාරු වුණාට රටේ ජනතාවගේ ජීවිත වෙනස් වුණේ නැහැ. පරණ දුක, වේදනාව තමයි රටේ ජනතාවට උරුම වුණේ. මහජනයාගේ දේපොළ සොරකම් කරන එක, නීතිය බිඳ වට්ටන  එක, පාරම්පරික පවුල් දේශපාලනය, විකුණන  එක, ඒ ආණ්ඩු නියෝජනය කරන කට්ටිය, මාරුවුණෙත් නැහැ.  දීර්ඝ කාලයක් ආණ්ඩු මාරු වුණාට ඇත්ත මාරුවක් සිදුවෙලා නැහැ. ප්‍රතිපත්ති, දේශපාලන සංස්කෘතිය, ආර්ථික ක්‍රමවේදය, පවුල් සංස්ථාව, මාරුවෙලා නැහැ. ජනතාව මාරු කරනවා කියලා ආණ්ඩු හැදුවාට මාරු වෙලා නැහැ. ලංකාවේ පළමුවැනි වතාවට සැබැවින්ම මාරුවීමක් කිරීම සඳහා අවස්ථාවක් උදාවෙලා තිබෙනවා. සැබෑ දේශපාලන වෙනස්වීම් සිදුවන්නේ ඉතාමත් තීරණාත්මක අවස්ථාවල. බලය අත්පත් කර ගත හැකි දේශපාලන අවස්ථාවක් එනවා. අපේ ව්‍යාපාරවල වගකීම සහ බැඳීම තමයි ඒ තත්වය එනකම් අල්ලා ගෙන ඉන්න එක. ඒ අවස්ථාව උදාවෙලා තිබෙනවා. දැන් බලය මාරු කළ යුතුයි. බලය ගත යුතුයි.

ජනතාවට තවදුරටත් මේ විදිහට ජීවත් විය නොහැකියි. ගොවි ජනතාවට, ව්‍යාපාරිකයාට, ධීවරයාට, ජීවත් වීම අමාරුකොට තිබෙනවා. තරුණ තරුණියන්ට තමාගේ අනාගතය අහිමි වී තිබෙනවා. පාලකයන්ට බලය අහිමි වීම පිළිබඳ අමාරුවට මුහුණ දීමට සිදුවෙලා තිබෙනවා. බලය අත්පත් කර ගැනීම සඳහා ඉතාමත් හොඳ අවස්ථාවක් උදාවෙලා තිබෙනවා. ජාතික ජන බලවේගය විශාල ව්‍යාපාරයක් බවට පත්වෙලා තිබෙනවා. කොට්ඨාස සභා හදා තිබෙනවා. ප්‍රබල තරුණ ව්‍යාපාරය ගොඩනඟා තිබෙනවා. බලවේග වශයෙන් ගොඩනැගී ඉන්නවා. සුපුරුදු බල හුවමාරුව වෙනුවට සාබෑ වෙනසක් සඳහා ජනතා ව්‍යාපාරයක් ගොඩනැගී තිබෙනවා. ජනතාවගේ විශ්වාසය ප්‍රබල ලෙස දිනා ගනිමින් ඉදිරියට ඇවිත් තිබෙන එකම ව්‍යාපාරය ජාතික ජන බලවේගයයි.

හම්බන්තොට අපට විශේෂ තැනක්. අමාරුවෙන් ඉන්න අවස්ථාවල අසීරුතම ජයග්‍රහණයන් ගෙනත් දුන්නේ හම්බන්තොටයි. 1994 පළමු ජයග්‍රහණය ලබාදුන්නේ හම්බන්තොටින්. අමාරුම වෙලාවක මේ ව්‍යාපාරය බලාගත්තේ, රැකගත්තේ, හුස්ම දුන්නේ හම්බන්තොට. ඒ නිසා අපිට දැඩි විශ්වාසයක් තිබෙනවා, දිනන වෙලාවෙදිත් ලොකුම දිනුම අරගෙන දෙන්නේ හම්බන්තොටින් කියන එක. අපට වැඩ ගොඩක් කරන්න තිබෙනවා. අපේ රටේ දේශපාලනය පරම්පරා කිහිපයකට පමණක් අයිති කියා ඒගොල්ලෝ සිතාගෙන ඉන්නවා. පැරණි, වැඩවසම්, ගෝත්‍රික ලක්ෂණයක් තමයි පරම්පරාවෙන් පරම්පරාවට දේශපාලනය  ගලාගෙන එන එක. 1947 අගමැති ඩී.එස්. සේනානායකගෙන් පස්සේ 1956 වන තෙක් රට පාලනය කළේ බෝතලේ වලව්වේ, ඩී.එස්., කොතලාවල. 1956 අගමැති බණ්ඩාරනායකගෙන් පස්සේ 1965 වන තෙක් පාලන බලය හෙබවූයේ අත්තනගල්ලේ, හොරගොල්ල වලව්වෙන්. 1965 සිට 1970 තෙක් බෝතලේ වලව්වේ ඩඩ්ලි සේනානායක. 1970 සිට 77 වන තෙක් හොරගොල්ලේ වලව්වේ සිරිමාවෝ බණ්ඩාරනායක. 1977 සිට 1988 තෙක් ජේ.ආර්. ජයවර්ධන කොල්ලුපිටියේ වලව්වෙන්. 1994 සිට 2005 තෙක් හොරගොල්ල වලව්වේ චන්ද්‍රිකා බණ්ඩාරනායක. 2005 සිට 2015 තෙක් මැදමුලනේ වලව්වේ මහින්ද. 2015 පොළොන්නරුවේ මහපොළොවේ ඉපදුණු ගැමියා මෛත්‍රීපාල සිරිසේන. ඊට පස්සේ මැදමුලනේ වලව්වෙන්. දැන් ජේ.ආර්. ජයවර්ධනගේ බෑනා. මේ කියන්නේ අපේ රටේ දේශපාලන බලය තිබුණේ පවුල් කිහිපයක් අතේ. ඒ පවුල් අමාරුවේ වැටුණු වෙලාවල අවුරුද්දක් දෙකකට කවුරු හෝ එනවා. අරමුණ තිබෙන්නේ මේ පවුල් අත බලය රඳවා ගන්න.

රට පමණක් නොවෙයි ප්‍රාදේශීය වශයෙනුත් එහෙමයි. තාත්තා ඇමති වෙන කොට පුතා මන්ත්‍රී වෙනවා. මාතර ලක්ෂ්මන් යාපා, එයාගේ පුතා, එච්.බී. සිරිසේන එයාගේ පුතා, මහින්ද විජේසේකර එයාගෙ පුතා, මහින්ද යාපා ලක්ෂමන් යාපා ඉන්නවා. ගාල්ලේ රූපා කරුණාතිලකගෙ පුතා ගයන්ත කරුණාතිලක, රිචඩ් පතිරණ එයාගේ පුතා, දොඩම්ගොඩ එයාගේ පුතා සහ බෑනා, ඉන්නවා. දේශපාලනයේ ඔලුව තිබෙන්නෙත් පවුල් කිහිපයක් අතේ, දේශපාලනයේ දිස්ත්‍රික් මට්ටමෙන් කඳ තිබෙන්නෙත් පවුල් කිහිපයක් අතේ. ඒ ගම්වල තරුණයන් පෝස්ටර් ගහන්න, කොඩි වැල් අදින්න, වේදිකා තනන්න ඕනෑ. මේක තමයි, අපේ පහළ පංතියේ මිනිසන්ට උරුම කර දී තිබෙන්නේ. මේ රට පාලනය කළ දූෂිත, විනාශකාරී ප්‍රභූ පෙළැන්තියෙන් පොදු ජනතාව අතට බලය මාරුකර ගන්න යුගයක් අපි නිර්මාණය කරන්න ඕනෑ. මෙතන ඉන්න කිසි කෙනෙක් තාත්තා මන්ත්‍රී නිසා හෝ ඇමති නිසා මෙතනට ආ අය නොවෙයි. පොදු ජනතාවගේ හැකියාව, දක්ෂතාවය තිබෙන තරුණ තරුණියන්ට මේ රටේ පාලන  බලය දක්වා ගමන් කළ හැකි නව දේශපාලන සංස්කෘතියක් අපේ රටට ඕනෑ. මෙතෙක් කල් අපේ රටේ පවුල් කිහිපයක් අතේ හිරවෙලා තිබුණු. කොටුකරගෙන තිබුණු, පරවේණි භුක්තියට ලියාගෙන තිබුණු සංස්කෘතිය වෙනස් කිරීමයි. අපේ දරුවන්ට තාත්තා කුඹුරු කොටනවා නම්, පුතත් කුඹුරු කොටනවා. තාත්තා මාළු අල්ලනවා නම් පුතත් මාළු අල්ලන්න ඕනෑ. ඒ තත්වය බිඳ වට්ටවා දූෂිත ප්‍රභූ පවුල් තන්ත්‍රයෙන් පොදු ජනතාව අතට පාලන බලය ගන්න ඕනෑ. මේ කරන්න යන්නේ ලංකාවේ ලොකුම දේශපාලන පරිවර්තනයයි.

ජනාධිපතිවරණයෙන් පසු අපි පාර්ලිමේන්තුව විසුරුවා හරිනවා. දැන් ජාතික ජන බලවේගයට ඉන්නේ මන්ත්‍රීවරු තිදෙනයි. මේ සංඛ්‍යාව 120, 130 පන්නනවා. එයින් කියැවෙන්නේ නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත් සාමාන්‍ය ගොවි, ධීවර අම්මා තාත්තාගේ අලුත් තරුණ පරම්පරාවේ විශාල පිරිසක් එළඹෙන පාර්ලිමේන්තුව නියෝජනය කරනවා. ඊට පස්සේ පළාත් පාලන මැතිවරණය හැකි ඉක්මනින් පවත්වනවා. පළාත් සභාවලටත් මේ රට වෙනස් කිරීමේ හැඟීමක් තිබෙන නැවුම් තාරුණ්‍යයේ පිරිසකගෙන් පිරෙන්න ඕනෑ. මෙතෙක් කල් කුණු වුණු, දූෂිත පවුල් සංස්ථාවට යට වුණු ජනාධිපති, පාර්ලිමේන්තුව, පළාත් සභා සහ පළාත් පාලන ආයතන නැවුම් ක්‍රියාකාරිත්වයෙන් පිරෙන්න ඕනෑ. සැබැවින්ම මිනිසුන්ට ආදරය කරන, මාතෘ භූමිය එක්ක සැබෑ බැඳීමක් තිබෙන පරම්පරාවක් අතට දේශපාලන බලය ලබාදී නව දේශපාලන සංස්කෘතියක් ස්ථාපිත කරනවා. සැප්තැම්බර් 28 හෝ ඔක්තෝබර් 05 වෙන කොට මැතිවරණ කොමිසමෙන් ජනාධිපතිවණය පවත්වනවා. ඉදිරියට තිබෙන්නේ මාස හතරයි. ඒ කාලය තුළ වෙහෙස නොබලා වැඩ කිරීමෙන් නව දේශපාලන සංස්කෘතියක් ආරම්භ කිරීමේ ස්ථාවරය අපි ලබා ගනිමු. ඉන් පසුව කෘෂිකර්මාන්තය, ධීවර කර්මාන්තය, ඇතුළු ආර්ථික ක්‍රියාකාරකම්වල යෙදෙන අපේ අම්මා තාත්තලාගේ ජීවිත සතුටින් පිරුණු ආදරය ලැබෙන තත්වයට පත්කරමු.

මාතෘ භූමිය වැදූ මව හා සමාන බව උගන්වා තිබුණාට මේ රට දාලා යන්නම පොළඹවන තත්වයක් තරුණ පරපුරට තිබෙන්නේ. මේ රට අත්හැර යාමේ එකම සිහිනය තිබෙන තරුණ පරපුරට නව ජීවිතයක් ලබාදීමට ක්‍රියාකරනවා. තරුණ පරම්පරාව වෙනුවෙන් නව අනාගතයක් නිර්මාණය කරනවා. නිදහස් ජීවිතයක් තිබෙන, ජීවිතය විඳිය හැකි නව ආර්ථිකයක් ජාතික ජන බලවේගයෙන් නිර්මාණය කරනවා. ඒ වෙනුවෙන් ලෝකයට අවශ්‍ය කරන මෘදුකාංග ඉංජිනේරුවන්ගේ පුරප්පාඩුවලින් සැලකිය යුතු පංගුවක් අපේ තරුණ පරම්පරාවට අත්කර දෙන්න ඕනෑ. කෘෂිකර්මාන්තය ආශ්‍රිතව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් බවට තරුණ පරම්පරාව පත්වෙන්න ඕනෑ. ඒ වෙනුවෙන් මූලික ප්‍රාග්ධනය, නව තාක්ෂණික දැනුම ලබාදීමෙන් අවශ්‍ය පහසුකම් සපයා දෙනවා. දේශීය පමණක් නොවෙයි, ලෝකයේ නව වෙළඳපොළවල් සොයාගෙන යන තානාපති සේවයක් අපි ඇති කරනවා. ලෝකයේ ඩොලර් බිලියන 11,000ක් වූ ඉදිකිරීම් ආර්ථිකය 2030 වන විට ඩොලර් බිලියන 17,000ට වර්ධනය වෙනවා. ලංකාවේ ඉදිකිරීම් කර්මාන්තය තිබෙන්නේ ඩොලර් බිලියන 12යි. ලෝකයේ ප්‍රබල ඉදිකිරීම් සමාගම්වල සිවිල් ඉංජිනේරුවන් වාස්තු විද්‍යාඥයන් ලෙස මේ රටේ තරුණ පරපුර යොමු කරමින් අනාගත සිහින යථාර්ථයක් කර ගත හැකි ආර්ථිකයක් ගොඩනඟනවා.

මේ සඳහා හැරවුමක් ගන්න තිබෙන්නේ තව මාස හතරකටත් අඩු කාලයක්. ඒ කාලය තුළ අපි නිහඬව සිට ඔවුන්ගේ ජයග්‍රහණයට ඉඩදී බලා සිටිනවාද, එසේ  නැතිනම් මේ තත්වය වෙනස් කර ගන්න වැඩ කරනවාද කියන ප්‍රශ්නය අප හමුවේ තිබෙනවා. බලය අත්පත් කර ගැනීම දක්වාම මේ නැගෙන නැගීමෙන් ඉදිරියට යමු. අපේ ජීවිත කාලයේ වැදගත්ම කාලය හැටියට මේ මාස හතර සලකා ගනිමින් ක්‍රියාකරමු කියා ඉල්ලා සිටිනවා.

පුවත්

ලංකාවට නො ආ රට හරක්ට ගෙවූ කෝටි 211 නිලධාරීන්ට ගෙවන්න නියෝගයක්

Published

on

By

ග්‍රාමීය ආර්ථික අමාත්‍යාංශය කිරි ගවයන් 15000ක් ආනයනය කිරීමට අදාළව ගෙවන ලද කෝටි 211 ක  මුදලක් අය කරගැනීමට කටයුතු නොකිරීම හේතුවෙන් සිදුවූ පාඩුව එම කටයුත්තට දායක වූ සියලු බලධාරීන්ගෙන් අය කරගැනීමට කටයුතු කරන ලෙස  ජාතික විගණන කාර්යාලය නිර්දේශ කර ඇත.

විගණන ප්‍රධානීන් එම නිර්දේශය කර ඇත්තේ කිරි ගවයන් ආනයනය කිරීමේදී සිදුවී ඇතැයි පැවසෙන දූෂණ වංචා සහ අක්‍රමිකතා පිළිබඳව සොයා බැලීමට කෙරුණු විගණනයට අදාල විශේෂ විගණන වාර්තාවෙනි.

මෙම පාඩුව සඳහා දායක වූ සියලු දෙනාටම දැඩි නීතිමය හා විනය ක්‍රියාමාර්ග ගත යුතු බවටද විගණන ප්‍රධානීන් නිර්දේශ කර ඇත.

කිරි ගවයන් ආනයනයට පෙර ගෙවන ලද රුපියල් කෝටි 175 කට ආසන්න අත්තිකාරම් මුදල සහ ණය මුදලින් කොටසක් සහ  ඊට අදාල පොලිය මෙම මූල්‍ය පාඩුවට  ඇතුළත් වන බව ජාතික විගණන කාර්යාලය පවසයි.

මූලික කාර්යභාරය  ඉටුකිරීමෙන් තොරව සහ විගණන අංශ ලබා දී තිබූ  නිර්දේශ නොතකා හරිමින්  කිරි ගවයන් ආනයනයට මෙසේ අත්තිකාරම් මුදල් නිදහස් කර තිබූ බවත්  එම මුදල් පසුගිය වසරේ දෙසැම්බර් මස 31 වැනිදා වන විටද අය කරගෙන නොතිබූ බවත් වාර්තාවේ දැක්වේ.

කිරි ගවයන් නොගෙන්වා මෙපමණ ඵලදායි නොවන වියදමක් දරා තිබියදී කිරි ගොවීන්ට සහන සැලසීම සඳහා හදිසි අවස්ථා අරමුදලින් රුපියල් කෝටි තිහක් වෙන් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය අපේක්ෂා කර තිබූ බවද විශේෂ විගණන වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

(ලංකාදීප)

Continue Reading

පුවත්

ලංකාව දුන් පොරොන්දු ඉටුකරනවාදැයි බලන්න IMF දෙවැනියා ලංකාවට

Published

on

By

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලයේ මීළඟ රැස්වීමට පෙර විදුලිය මිල වැඩි කිරීම ඇතුළු ශ්‍රී ලංකා ආණ්ඩුව පොරොන්දු වූ ගිවිසුමේ කරුණු ඉටුවේදැයි දැනගැනීම පිණිස විශේෂ සාකච්ඡාවක් සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ, ගීතා ගෝපිනාත් මහත්මිය සහ ආසියානු කලාපීය අධ්‍යක්ෂ ක්‍රිෂ් සිරිනිවාසන් මහතා ලබන සතියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. 

ගෝපිනාත් මහත්මිය මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරියට පමණක් දෙවැනි වන ප්‍රධාන නිලධාරිනියයි.

මෙම ඉහළ පෙළේ දූත පිරිස ශ්‍රී ලංකා මහ බැංකුව සහ ජනාධිපතිවරයා සමඟ විශේෂ සාකච්ඡා වට දෙකකට සහභාගි වනු ඇතැයි දැනගන්නට තිබේ.

විදුලිය මිල සූත්‍රයක් ක්‍රියාත්මක කිරීම ඇතුළු මීට පෙර ඇති කරගත් කාර්ය මණ්ඩල එකඟතා ඉටුකිරීම සම්බන්ධව මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ මතය දැනගැනීම ඔවුන්ගේ ශ්‍රී ලංකා සංචාරයේ ප්‍රධාන අරමුණ බවද සඳහන්ය.

(දේශය)

Continue Reading

පුවත්

නියාමනයට පෙර ප්‍රවාහන සංගම් රජයෙන් සාකච්ඡාවක් ඉල්ලයි

Published

on

By

පෞද්ගලික බස් රථ, ත්‍රිරෝද රථ හා පාසල් සිසුන් ප්‍රවාහන රථ නියාමනයට පෙර පවතින ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡාවක් ලබාදෙන ලෙස ප්‍රවාහන සංගම් රජයෙන් ඉල්ලිමක් කර තිබේ.

සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමයයේ සභාපති මල්ශ්‍රී ද සිල්වා මහතා සඳහන් කළේ රජය විසින් ඊට අවශ්‍ය ක්‍රියාමාර්ග නොගන්නේ නම් වෘත්තීය ක්‍රියාමාර්ග සඳහා යොමුවන බවය.

පෞද්ගලික බස් රථ, ත්‍රිරෝද රථ, පාසල් සිසුන් ප්‍රවාහන රථ ඇතුළු ප්‍රවාහන මාදිලි රැසක් නියාමනයට අවශ්‍ය පියවර ගන්නා අතර ජාතික ගමනාගමන කොමිෂන් සභාවට මේ සඳහා සියළු බලතල පැවරීමට පියවර ගන්නා බවද ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදු කර තිබිණි.

ඒ අනුව ජාතික ගමනාගමන කොමිෂන් සභා සංශෝධන පනත් කෙටුම්පත පසුගියදා පාර්ලිමේන්තුවේදි සම්මත වු අතර පෞද්ගලික බස් රථ, ත්‍රිරෝද රථ, පාසල් සිසුන් ප්‍රවාහන රථ ඇතුළු ප්‍රවාහන මාදිලි රැසක් නියාමනයට අවශ්‍ය ගැසට් පත්‍රයද නිකුත් කළ බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පැවසීය.

සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමයයේ සභාපති මල්ශ්‍රී ද සිල්වා මහතා මේ  සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළේය.

“නියාමනයට කලින් බොහෝ දේවල් තියනවා කරන්න. හැම වතාවෙම මේක කරන්න හැදුවා. ඒත් අපිට කිසිදෙයක් වෙන්නෙ නැතුව රජයට ආදායමක් ලබා ගන්න දෙයක් විතරයි වෙන්නෙ. අපි ඒ දේවල්වලට කැමති නෑ. අපි කියන්නෙ මේක නියාමනය කරනව නම් අපේ ප්‍රශ්න සාධාරණව අහලා ඒවට අවශ්‍ය දේවල් කරලා බලලා අපිත් එක්ක කතා කරලා ඉවරවෙලා මේ දේවල් කරොත් හොදයි කියලා හිතනවා.නියාමනයෙන් හොඳ දෙයක් වෙන්න ඕනා. නියාමනය කියලා මුදලක් අරගෙන අපිට කිසිදෙයක් වෙන්නෙ නැත්තම් වැඩක් නැහැ. හොද විදිහට කරනවා නම් අපි බලනවා. එහෙම නැත්තම් අපිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට යන්න වෙනවා.”

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved