පුවත්

එක්ස්ප්‍රස් පර්ල් වන්දි : ආයතන අතර සම්බන්ධීකරණය නිල්!

Published

on

එක්ස්ප්‍රස් පර්ල් ව්‍යසනය නිසා සිදු වු වන්දි ලබා දීමේ දැනට ලබා ඇති ප්‍රගතිය සලකා බැලීම හා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය (මීපා) විසින් පත් කරන ලද විද්වත් කමිටුවේ සහාය තවදුරටත් ලබා ගෙන සිදු වු හානිය තක්සේරු කිරීමේ කටයුතු ඉදිරියට සිදු කරනවාද යන්න පිළිබඳව පරිසරය, ස්වාභාවික සම්පත් හා තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී  විමසා බැලිණි.

ඒ එම කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

මීපා ආයතනය විසින් පත්කරන ලද විද්වත් කමිටුවේ වැඩ කටයුතු කරගෙන යායුතු ආකාරය සහ එහි අනාගත අවශ්‍යතාවය පිළිබඳව නීතිපති දෙපාර්තමේන්තුවෙන් ලිපියක් මගින් විමසා සිටියද ඒ සඳහා නිසි පිළිතුරක් තමන්ට මෙතෙක් නොලැබුණු බව එම ආයතනයේ නිලධාරීහු පැවැසුහ. කෙසේ වෙතත්  විනාශය ගණනය කිරීමේ කටයුතු තවදුරටත් කරගෙන යාමට අන්තර් ජාතික, ස්වාධීන විද්වත් කමිටුවක් පත්කර ඉදිරි වැඩ කටයුතු සිදු කරන බව තමන්ට අධිකරණ අමාත්‍යාංශයෙන් තොරතුරු ලැබුණු බවත් ඒ හේතුවෙන් මීපා ආයතනය විසින් පත් කරන ලද විද්වත් කමිටුව මඟින් ඉදිරි කටයුතු කරගෙන යා යුතු ආකාරය පිළිබඳව ස්ථීර තීරණයක් නොමැති බවත්  එම  ආයතනයේ නිලධාරීහු වැඩි දුරටත් කරුණු දක්වමින් පැවසූහ. එමෙන්ම දැනට නීතිපති දෙපාර්තමේන්තුවෙන් මේ සම්බන්ධයෙන් සිදුකරන කටයුතු පිළිබඳව තම ආයතනය නොදැන සිටීම ගැටලුවක් බවත් එම මීපා ආයතනයේ නිලධාරීහු පැවසුහ.

මීපා ආයතනය මගින් පත්කළ විද්වත් කමිටුව මඟින් සිදු කරන ලද පර්යේෂණ කටයුතුවලට අදාළ මුදල් නොගෙවා ඇති බැවින් එම මුදල් ගෙවීමට ඇති හැකියාව සොයා බැලීමට අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කරන ලෙස දැනුම්  දී ඇති අතර 2023 වර්ෂය සඳහා විද්වත් කමිටුවට පත්වීම් ලැබී‌ නොමැති බවත් කමිටුව හමුවේ අනාවරණය විය.

කාරක සභාවට සහභාගී වූ මීපා ආයතනය පත්කළ විද්වත් කමිටුවේ සම සභාපති මහාචාර්ය අජිත් ද අල්විස් මහතා, තමන්ගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් අදාල විශ්ව විද්‍යාලවලින් විමසීමක් කර ඇති බව පැවසුවේය. විද්වත් කමිටුවට පත් කරන ලද සමාජිකයින් දෙදෙනෙක් පත් කිරීම සහ ඔවුන්ගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳව අල්ලස් සහ දුෂණ විමර්ශන කොමිෂන් සභාව මීපා  ආයතනයෙන් විමසීමක් කර ඇති බවද  එම ආයතනය කාරක සභාව හමුවේ පවසන ලදී.

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය, ධීවර අමාත්‍යාංශය සහ නීතිපති දෙපාර්තමේන්තුව අතර මනා සම්බන්ධතාවයක් නොමැති වීම හේතුවෙන් මතුව ඇති ගැටලු ගැන කාරක සභාවේ අවධනය යොමු විය. මේ හේතුවෙන් ධීවර වන්දි ලබා ගැනීමටද ගැටලු රැසක් මතුව ඇති බව කාරක සභාව හමුවේ  අනාවරණය විය. ඒ අනුව නීතිපති දෙපාර්තමේන්තුව, ධීවර අමාත්‍යාංශය, මීපා ආයතනය සහ එමඟින් පත්කළ විද්වත් කමිටුවේ සාමාජිකයින් ඒකාබද්ධව ඉදිරි වැඩපිළිවෙලක් සකස් කර ඒ සම්බන්ධ වාර්තාවක් කාරක සභාවට ඉදිරිපත් කරන ලෙස කාරක සභා සභාපතිවරයා උපදෙස් ලබා දුන්නේය.

එසේම මෙම නෞකා අනතුර නිසා සිදුවූ ව්‍යසනය ලෝකයේ මයික්‍රෝප්ලාස්ටික් හේතුවෙන් සිදුවූ විශාලතම විනාශය බැවින් ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් පර්යේෂණ සිදු කළ යුතු බැවින් විද්වත් කමිටුවේ පර්යේෂණ සඳහා අවසර ලබා දෙන ලෙස සහ ඒ සඳහා පහසුකම් ලබාදෙන ලෙස අමාත්‍ය මණ්ඩලයෙන් ඉල්ලා සිටීමට කාරක සභාව තීරණය කරන ලදී.  

Trending

Exit mobile version