පුවත්

“එක්ස්ප්‍රස් පර්ල්”  විමර්ශන කඩිනම් කරන ලෙස අධිකරණ නියෝගයක්

Published

on

එක්ස්ප්‍රස් පර්ල් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ ( 25) නියෝග කළේය

නෞකාව ගිනි ගැනීමට පෙර රසායනික කාන්දුවක් පිළිබඳව කපිතාන්වරයා දේශීය නියෝජිතයාට දැනුම් දුන්නේද යන්න සහ එසේ නම් එම දත්ත විනාශ කළේද යන්න පිළිබඳව විමර්ශනය කඩිනම් කරන ලෙස විත්තියේ නීතිඥවරුන් කළ ඉල්ලීමක් සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය කළේය. 

මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා මෙම විමර්ශනවලට අදාළ කරුණු දැක්වීම සඳහා මාසයක කාලයක් ලබාදෙන ලෙස ඉල්ලීමක් සිදුකර ඇත.

එහිදී අදාළ පැමිණිල්ලේ සැකකරුවන් වශයෙන් නම්කර සිටින එම නෞකාවේ කපිතාන්වරයා සහ දේශීය නියෝජිත සමාගමේ අධ්‍යක්ෂවරුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කියා සිටියේ මෙම සිද්ධියට අදාළව දැනටමත් කොළඹ මහාධිකරණය හමුවේ විත්තිකරුවන්ට එරෙහිව නඩු විභාගයක් පැවැත්වෙන බවය. 

නෞකාව ගිනි ගැනීමට පෙර එහි ක්‍රියාකාරීත්වය පිළිබඳව දේශීය නියෝජිතයා දැනුවත් කළේද යන්න පිළිබඳව කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අධ්‍යාපන ආයතනය විසින් වාර්තාවක් පසුගිය නඩු වාරයේදී ඉදිරිපත් කරන ලදී. වාර්තාවේ පිටපතක් විත්තිකරුවන්ට ලබාදෙන ලෙස ද කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කරන ලදී.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහෙස්ත්‍රාත්වරයා විමර්ශන කටයුතු කඩිනමින් අවසන් කරන ලෙස පොලීසියට දැනුම් දුන් අතර එහි ප්‍රගතිය ඉදිරියේදී අධිකරණයට වාර්තා කරන ලෙසටද නියෝග කලේය.

Trending

Exit mobile version