Connect with us

පුවත්

එල්.බී. ෆයිනෑන්ස් ප්‍රධාන ශාඛාවේ ප්‍රධාන ආරක්ෂකයා අත්අඩංගුවට

Published

on

කොළඹ හතේ පිහිටි එල්.බී. ෆයිනෑන්ස් සමාගම් ශාඛාවේ පැයකට ආසන්න කාලයක් අඹුසැමි යුවළක් සිර කර සාපරාධී බිය ගැන්වීමක් කළැයි එම ආයතනයේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා කුරුඳුවත්ත පොලිසිය විසින් ඊයේ (19) අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සිද්ධියට මුහුණ දුන් යුවළ ලීසිං සමාගමේ ශාඛාවේ දොරටුවලට දම්වැල් දමා වසමින් සිරකරගෙන ඇත්තේ සැකකාර ආරක්ෂක නිලධාරියා විසින් බවට විමර්ශනයේදී අනාවරණය වී ඇතැයි කුරුඳුවත්ත පොලිසියේ සැරයන් සමන් රාජපක්ෂ මහතා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා වෙත දැනුම් දුන්නේය.

එම ආයතනයේ ආරක්ෂක සී.සී.ටී.වී. කැමරා දර්ශන පරීක්ෂා කිරීමේදී අනාවරණය වූ කරුණු මත සැකකාර ප්‍රධාන ආරක්ෂක නිලධාරියා වන රත්නායක මුදියන්සේලාගේ ධර්මදාස රත්නායක අත්අඩංගුවට ගත් බවද කුරුඳුවත්ත පොලිසියේ නිලධාරීන් අධිකරණය වෙත දන්වා සිටියේය.

උත්සව කටයුතු සඳහා වාහන දීමේ ව්‍යාපාරයක නිරත ගනේමුල්ල, බොල්ලත, ගල්පොත්ත පාරේ පදිංචි ආනන්ද ද සිල්වා විසින් කරන ලද පැමිණිල්ලක් මත මෙම සිද්ධියට අදාළ විමර්ශන ආරම්භ කළ බව කුරුඳුවත්ත පොලිසිය අධිකරණය වෙත දන්වා සිටියේය.

පැමිණිලිකරුගේ කාර් රථයට අදාළ ලීසිං පහසුකම ගෙන අවසන් හෙයින් ඊට අදාළ ලිපි ලේඛන දෙන ලෙස ඉල්ලා සිටි අවස්ථාවේදී ලීසිං සමාගමේ ගනේමුල්ල ශාඛාවේ නිලධාරීන් දන්වා ඇත්තේ එම ලේඛන කුරුඳුවත්තේ පිහිටි ශාඛාවෙන් ගන්නා ලෙස බව දන්වා සිටි කුරුඳුවත්ත පොලිසියේ නිලධාරීන් ඒ පිළිබඳව විමසීමට පැමිණිලිකරු සිය බිරිඳ සමග ලීසිං සමාගමේ කුරුඳුවත්තේ පිහිටි ආයතනයට ගොස් ඇතැයි දන්වා සිටියේය.

එම අවස්ථාවේදී ලීසිං සමාගමේ කුරුඳුවත්ත ශාඛාවේ ප්‍රධාන කළමනාකරු වන ගිහාන් නමැති අය පැමිණිලිකරුගේ බිරිඳට ‘‘තමුසෙලාගේ යතුරක් අපි ගත්තෙ නැහැ, ගිහින් ගත්ත කෙනාගෙන් ඉල්ල ගන්නවා, ඕක මගේ වැඩක් නෙවෙයි’’ යනුවෙන් පවසමින් බැණ තර්ජනය කළ බවත්, එහි සිටි පිරිසක් ආයතනයේ ඉබි යතුරු දමා වසා දමමින් පැමිණිලිකරුට සහ ඔහුගේ බිරිඳට පිටතට යෑමට නොදී සිර කර තබා ඇති බවත් පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.

සැකකාර ආරක්ෂක නිලධාරියා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ධර්මතිලක ගමගේ මහතා කරුණු ඉදිරිපත් කරමින් තම සේවාදායකයා ඇප මත මුදාහරින ලෙස ඉල්ලා සිටියේය.

සැකකරු රුපියල් 10,000 ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10 ක ශරීර ඇප 2 ක් මත මුදාහරින ලෙස නියම කළ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා විමර්ශනයේ ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙස කුරුඳුවත්ත පොලිසියට නියම කළේය.

සබැදි පුවත්

පුවත්

ලාංකිකයන්ගේ UK පුරවැසි හීන බ්‍රිතාන්‍ය නව අගමැති තවත් දුරස් කරයි

Published

on

By

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ශ්‍රීමත් කියෙර් ස්ටාමර් විසින් හඳුන්වා දීමට යන නව වීසා නීතිය අනුව ශ්‍රී ලාංකිකයන් ඇතුළු ආසියාතික රටවල වැසියන්ට බ්‍රිතාන්‍ය වීසා ලබා ගැනීම ඉතා දුෂ්කර කටයුත්තක් වනු ඇතැයි බ්‍රිතාන්‍ය ගුවන්විදුලිය (BBC) වාර්තා කර තිබේ.

ශිෂ්‍ය වීසා, රැකියා වීසා සහ පූර්ණ කාලීන පදිංචියට අවශ්‍ය කරන වීසා ලබා ගැනීම දැඩි ලෙස පාලනයට ලක් කිරීමට අග්‍රාමාත්‍යවරයාගේ නව වීසා නීතිය තදින්ම බලපාන බව එහි වැඩිදුරටත් දැක්වේ.

තාවකාලික රැකියා සඳහා පිටත්ව ගොස් වසර පහක් එරට රැඳී සිටි තැනැත්තන්ට පූර්ණ කාලීන වීසා සඳහා අයැදුම් කිරීමේ වරම මෙතෙක් හිමිවී තිබුණු නමුත් දැන් එය වසර දහයක් දක්වා කල් දමා තිබේ. 

ශිෂ්‍ය වීසා මත එරටට ගොස් සිටින සිසුන්ට මාසිකව ගෙවන උපකාරක සේවා ගාස්තුවෙන් මෙතෙක් කිසිදු බද්දක් අය කළේ නොකළ අතර අගමැතිවරයාගේ නව යෝජනාව අනුව එලෙස ශිෂ්‍යයන්ට ගෙවන උපකාරක සේවා ගාස්තුවෙන් 6% ක් නැවත බද්දක් ලෙස අය කිරීමට තීන්දු කර තිබේ. 

එසේම බ්‍රිතාන්‍යයේ සත්කාරක සේවා අංශයේ පුරප්පාඩු 1,31,000 ක් පැවතියද එම අංශයට ද රටවල් ගණනාවකින් සේවකයන් බඳවා ගැනීම අධෛර්යට ලක් කර ඇති බව පැවසේ.

සාමාන්‍යයෙන් සත්කාරක සේවකයෙක් වසරකට පවුම් 20,000 ක පමණ වැටුපක් ලබයි. 

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසන ආකාරයට ශ්‍රී ලාංකිකයන් 4427 දෙනෙක් එම කාර්යාංශයේ ලියාපදිංචිය ලබාගෙන දැනට එරට සේවය කරති.

අග්‍රාමාත්‍ය ස්ටාමර්ගේ නව වීසා නීතිය මෙම මැයි මස 12 දා ධවල පත්‍රිකාවක් ලෙස ප්‍රකාශයට පත් කෙරිණි.

Continue Reading

පුවත්

තෙල් සංස්ථාවේ “අයිෆෝන්” බිල් පිටවුණා වගේ රහස් එළියට යන නිසා සංස්ථාව ඩිජිටල් කරනවා – MD

Published

on

By

 ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ දත්ත වාර්තා හා රහස්‍ය තොරතුරු සමාජගතවීමේ අවධානමක් ඇති බවත්, මේ හේතුවෙන් ඉතාමත් ඉක්මනින්ම සංස්ථාව නව තාක්ෂණය සමග ඩිජිටල්කරණය කිරීම ආරම්භ කරන බව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ කළමනාකරණ අධ්‍යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාරගේ මහතා පවසයි.

ඔහු මේ බව පවසා ඇත්තේ ඛනිජ තෙල් සංස්ථාව විසින් මිලදීගත් “අයිෆෝන්” දෙකක බිල් සමාජගතවීම සම්බන්ධයෙන් ‘අරුණ’ පුවත් පත කරණ ලද විමසුමකදීය. 

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ රාජකාරීමය වැඩ කටයුතු සඳහා අදාළ “අයිෆෝන්” මිලදීගත් බවද ඔහු පවසා තිබේ.

 ඩිජිටල්කරණය කිරීමේ කටයුතු එළැඹෙන සතියේදීම ආරම්භ කරන බවත් එවිට මෙලෙස ආයතනය තුළ ඇති තොරතුරු පිටතට ලබාදෙන්නට කිසිවකුටත් හැකියාවක් නොලැබෙන බවත් ඔහු පවසා තිබේ.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකරණ අධ්‍යක්ෂවරයා අදහස් දක්වමින් තවදුරටත් පවසා ඇත්තේ මෙම ඩිජිටල්කරණ වැඩසටහන මූලික කරගෙන සංස්ථාවට අදාළ අයිෆොන් දෙක මිලදී ගත් බවත් එම ජංගම දුරකථන මිලදී ගත්තේ සංස්ථාවේ ප්‍රසම්පාදන ක්‍රියාවලියට යටත්ව අදාළ සියලු පාර්ශ්වයන්ගේ අනුමැතියෙන් බවත් ය.

එම ‘අයිෆෝන්’ කිසිදු අයකුගේ පෞද්ගලික පරිහරණය සඳහා මිලදී ගත් ඒවා නොවන බවද හුදෙක්ම ඛනිජ තෙල් සංස්ථාවේ රාජකාරි කටයුතු සඳහා මිලදී ගත් ඒවා බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දී ඇත.

Continue Reading

පුවත්

පාතාල ලොක්කෙක් දරුවන් හා තරුණයන් එක්කරන් පාතාල හමුදාවක් හදලා

Published

on

By

කොළඹ ප්‍රධානපෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවකු ව සිටින පලනි රිමෝෂන් නැමැත්තා විසින් වයස අවුරුදු 18 ට අඩු දරුවන් හා තරුණයන් සම්බන්ධ කරගනිමින් පාතාල හමුදාවක් නිර්මාණය කරගනිමින් සිටින බවට පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන තිබේ.

පසුගිය 16 වැනිදා කොටහේන සුමිත්‍රාරාම පාර ප්‍රදේශයේදී සිදුකළ වෙඩි තැබීමකින් 42 හැවිරිදි පුද්ගලයකු හා එම පුද්ගලයාගේ ලොකු අම්මා වන 70 හැවිරිදි කාන්තාවක් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබිණි.

මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ පූකුඩුකන්නා නැමැති සංවිධානාත්මක අපරාධකරුගේ සමීපතමයකු වූ 42 හැවිරිදි පුද්ගලයා ඉලක්කර ගෙන බවට පොලිස් විමර්ශන මගින් අනාවරණය වී තිබිණි.

වෙඩි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා මීට වසරකට පෙර ජින්තුපිටියේදී පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ සැකකරුවකු වන අතර ඔහු අදාළ වෙඩි තැබීමේ සිද්ධියේ වෙඩික්කරුට නවාතැන් දුන් පුද්ගලයා බවද අනාවරණය වී ඇත.

එම පුද්ගලයාට වෙඩි තැබීමේ සිද්ධියට අදාළව කොටහේන පොලිසිය විසින් ආරම්භ කළ විමර්ශනවලට අනුව වෙඩික්කරු හා ආධාර අනුබල දුන් 17 සහ 18 හැවිරිදි තරුණයන් දෙදෙනකු නීතිඥවරුන් මාර්ගයෙන් පෙරේදා කොටහේන පොලිසියට භාර වී තිබිණි. සැකකරුවන් කොළඹ 13 ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය පවසයි.

වෙඩි තැබූ බව කියන 17 හැවිරිදි තරුණයා පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ පවසා ඇත්තේ තමන් පලනි රිමෝෂන්ගේ වුවමනාවට වෙඩි තැබු බවය. පාතාල ලෝකයට පිවිසීමට ඇති ආසාව හේතුවෙන් තමා මෙම වෙඩි තැබීම සිදුකළ බවත් ඒ සඳහා මුදල් ලබානොගත් බවත් සැකකරු පවසා ඇත.

පලනි රිමෝෂන් බලවයස්කරුවන් අපරාධ ක්‍රියා සදහා යොදාගැනීමට කටයුතු කරන බවත් සැකකරු පවසා ඇතැයි පොලිසිය සඳහන් කරයි.

එසේම මෙම සිද්ධියට අදාළව භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් 18 හැවිරිදි සැකකරු වෙඩික්කරු හා අනෙක් පිරිස දුරකථන මාර්ගයෙන් සම්බන්ධ කිරීම සිදුකර ඇති බව ද අනාවරණය වී ඇත.

කොටහේන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කෝසල ලියනාරච්චි ගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක අරවින්ද ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වන අතර වෙඩි තැබීමට යොදාගත් ගිනි අවිය මෙතෙක් හමුවී නැත.

සැකකරුවන් දෙදෙනා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු පැය 72 ක් රඳවා ප්‍රශ්න කිරීමට අවසර ලබාදී තිබේ.

මූලාශ්‍රය – අරුණ

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved