පුවත්

එ.ජ. රාජ්‍ය උපලේකම් ඇලෙක්සිස් ටේලර් මෙරටට

Published

on

එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු සඳහා උප ලේකම්තුමිය වන ඇලෙක්සිස් ටේලර් මහත්මිය එ.ජ. තානාපති ජුලී චංග් මහත්මිය සමගින්, අද (26) කොළඹ දී, ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අංශයට USDA සහය ලබාදීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ අනෙකුත් ජ්‍යේෂ්ඨ රජයේ නිලධාරීන් හමුවිය.

වඩාත් වැඩි ආහාර සුරක්ෂිතතාවයක් ප්‍රවර්ධනය කරමින්, දේශගුණ අභියෝගවලට ඔරොත්තුදීම වැඩිදියුණු කරමින් ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික සංවර්ධනය සහ ආර්ථික වර්ධනය සඳහා සහය දෙන්නට ඇමෙරිකානු ජනතාවගේ අඛණ්ඩ කැපවීම ටේලර් උපලේකම්තුමියගේ මෙම සංචාරයෙන් අවධාරණය කරන ලදී.

සිකුරාදා දින උපලේකම්තුමිය සිදුකළ සාකච්ඡා තුළ පරිසර හිතකාමී ව්‍යවහාර සහ වෙළඳපල සම්බන්ධතා වැඩිදියුණු කිරීම හරහා ආහාර සුරක්ෂිතතාවය සහ දේශගුණ ප්‍රත්‍යස්ථතාවය වැඩිදියුණු කිරීම කෙරෙහි අවධානය යොමු කරන මුලපිරීමක් වන 2024 අභිවෘද්ධිය සඳහා ආහාර (Food for Progress) මුලපිරීමෙහි ප්‍රමුඛතාවය ලබන රටක් වශයෙන් ශ්‍රී ලංකාවට ලැබී ඇති ප්‍රධාන භූමිකාව තහවුරු කරන ලදී. එහි ලා ප්‍රධාන වශයෙන් අවධානය යොමු කෙරුනේ ශ්‍රී ලංකාවේ කිරි ගොවීන් 15,000 ඉක්මවන පිරිසක කිරි නිෂ්පාදන ඵලදායීතාවය වැඩිදියුණු කරන්නට හේතුවූ, සහ ඉන් බොහෝ දෙනෙක් මෙම ව්‍යාපෘතිය හේතුවෙන් තම නිෂ්පාදනය දෙගුණ වු බව ද සඳහන් කර තිබූ, ඩොලර් මිලියන 27.5ක වෙළඳපල-දිශානත කිරි නිෂ්පාදන ව්‍යාපෘතිය වෙතයි. මෙම USDA කිරි නිෂ්පාදන ව්‍යාපෘතිය හරහා, අනවශ්‍ය බලශක්ති පරිභෝජනය අඩු කරන ගව පාලන සහ සත්ව ආහාර පරිභෝජන ක්‍රමෝපායයන් ගැන පුළුල් පුහුණු ලබාදීම හරහා කිරි ගොවීන් අතරේ දේශගුණ අභියෝගවලට අනුහුරුවීම වැඩිදියුණු කරන්නට ද අරමුණු කරයි.

ඊට අමතරව, 2018 සිට අධ්‍යාපන අමාත්‍යාංශයේ හවුල්කාරීත්වය ඇතිව සේව් ද චිල්රන් හරහා ක්‍රියාත්මක වූ USDA හි මැක්ගවර්න්-ඩෝල් ව්‍යාපෘතිය හරහා, රටපුරා ප්‍රාථමික පාසැල් දරුවන් 100,000ට ආසන්න සංඛ්‍යාවකට දිනපතා ආහාරවේල් ලබාදී තිබේ. එම වැඩසටහනේ සාර්ථකත්වය මත පදනම් වෙමින් USDA නව පස් වාර්ෂික, ඩොලර් මිලියන 32.5ක ව්‍යාපෘතියක් දියත් කර තිබේ. පාසල්වලට ආහාරවේල් ලබාදීමේ වැඩසටහන තවත් ශක්තිමත් කරමින් ඒ හරහා බදුල්ල, කොළඹ, කිලිනොච්චිය, මොනරාගල, මුලතිවු, නුවරඑළිය, රත්නපුර, සහ ත්‍රිකුණාමලය ඇතුළු දිස්ත්‍රික්ක අටකට ආහාරවේල් ලබාදෙනු ලැබේ. ශ්‍රී ලංකාවේ පාසල්වලට ආහාර වේල් ලබාදීමේ ජාතික වැඩසටහන යටතේ ආවරණය වන සිසුන් 200,000කට ආසන්න පිරිසක් සඳහා දැන් මේ ව්‍යාපෘතිය හරහා ආහාර වේල් ලබාදීමට අරමුණු කරනු ලැබේ.  

ස්ථාවරත්වය සහ සෞභාග්‍ය පෝෂණය කිරීමේ පුළුල් අරමුණෙහි කොටසක් වශයෙන්, USDA සහය ඇතිව ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාවය වැඩිදියුණු කිරීමට එක්සත් ජනපදය කැප වී සිටියි. කෘෂිකර්මාන්තයේ හවුල්කාරීත්ව සඳහා ආයෝජනය කිරීමෙන් අපේ අරමුණ වන්නේ දේශීය ගොවීන් සවිබල ගන්වා, ආහාර නිෂ්පාදනය වැඩි කර, සියළු දෙනාටම වඩාත් සුරක්ෂිත අනාගතයක් සහතික කිරීමයි.

Trending

Exit mobile version