Connect with us

පුවත්

ඔන් මැක්ස් පැමිණිලි භාරගන්නැයි OICලාට නියෝගයක්

Published

on

ඔන්මැක්ස් ඩී.ටී. මහා පරිමාණ පිරමීඩ වංචාවට හසුවූ තැන්පත්කරුවන් දහස් ගණනකගේ පැමිණිලි භාරගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන්ට ඊයේ (25) නිියෝගයක් නිකුත් කළේය.

විශාල පිරිසක් නීති විරෝධී ඔන්මැක්ස් ඩී.ටී. පිරමීඩ සමාගමේ මුදල් ආයෝජනය කර ඇතත් මෙතෙක් විධිමත් අයුරින් පැමිණිලි ඉදිරිපත් කර නොමැති බව අවධාරණය කළ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා එම නිසා සිය මුදල් අහිමි වී සිටින තැන්පත්කරුවන්ට පැමිණිලි කිරීමට සුදුසු ආකෘතියක් සකස් කර සියලුම පොලිස් ස්ථානවලට යොමු කරන ලෙසත් නියෝග කළේය.

එම පැමිණිලි ආකෘති භාරගන්නා ලෙස සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන්ට නියෝගයක් නිකුත් කරන ලෙසට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (පරිපාලන) වෙත ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා නියෝගයක්ද කළේය.

ඔන්මැක්ස් ඩී.ටී. තැන්පත්කරුවන් මේ වනවිට දැඩි පීඩනයකට පත්වී තිබෙන බවත්, ඔවුන් ක්ෂණිකව සහනයක් බලාපොරොත්තු වන බවත් අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නාමල් රාජපක්ෂ අධිකරණයට දන්වා සිටියේය.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ ඔස්වල්ඩ් පෙරේරා කරුණු ඉදිරිපත් කරමින් අගතියට පත් කියන තැන්පත්කරුවන්ගේ සංගම්වල 2000 ක් 3000 ක් පමණ සිටින බව සඳහන් කළත් පැමිණිල් ඉදිරිපත් වී නැතැයි පැවැසීය.

නිසි පරිදි පැමිණිලි ඉදිරිපත් කරනු ලැබුවහොත් නීතිපති දෙපාර්තමේන්තුවට, පොලිසියට, ශ්‍රී ලංකා මහ බැංකුවට සහ අධිකරණයට මුදල් ගෙවීමට අදාළව අවශ්‍ය පියවර ගැනීමට නියෝග නිකුත් කළ හැකි බවද රජයේ නීතිඥවරයා දන්වා සිටියේය.

මෙම සිද්ධියේදී පැමිණිලි කරන පුද්ගලයන්ට මුදල් ගෙවීමේදී ප්‍රමුඛතාව ලබාදීමට සිදුවන බව ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා විවෘත අධිකරණයේදී ප්‍රකාශ කළේය.

මේ වනවිට පැමිණිලි 100 ක් පමණ ලැබී තිබෙන බවත්, සියලු පැමිණිලි ලැබුණහොත් විමර්ශන කඩිනම් කිරීමට හැකි බවද රජයේ නීතිඥවරයා සඳහන් කළේය.

සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න කරුණු ඉදිරිපත් කරමින් සිය සේවාදායකයන් විසින් තැන්පත්කරුවන් 65000 කට අදාළ තොරතුරු මේ වනවිට ලබාදී ඇති බවත්, තැන්පත්කරුවන්ගේ යැයි කියන සමාගම් කළ යුත්තේ නිවැරදි තොරතුරු ලබාදීම යැයිද දන්වා සිටියේය.

මෙම නඩුවේ තෙවැනි සැකකරු වන ඔන්මැක්ස් ඩී.ටී. සමාගමේ අධ්‍යක්ෂ සම්පත් සඳරුවන් නමැත්තාට ලබන මස 4 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට විමර්ශන නිලධාරීන්ට තමන් දන්නා තොරතුරු ලබාදෙන ලෙස නියම කළ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා එම සැකකරුවන්ගේ දේපළ 5 කට අදාළ ඉඩම්වල තක්සේරු වාර්තා ලබාගැනීමට අවශ්‍ය ඉඩම් හා නිවෙස්වල පිඹුරුපත්ද එදිනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන එන ලෙස සැකකරුට නියම කළේය.

පුවත්

රනිල්, රොනල්ඩ් ආවම අල්ලස් කොමිසමට එන්නම් කියයි!

Published

on

By

ලබන 25 වැනිදා පෙරවරු 9.30 ට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හමුවට පැමිණීමට හැකියාවක් නොමැති බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම කොමිසමට ලිඛිතව දැනුම් දී ඇතැයි වාර්තා වේ.

සිය නීතිඥවරයා වන ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා මහතා විදෙස්ගතව සිටින බැවින් මෙම 27 වැනිදායින් පසුව කොමිසමට පැමිණීමට දිනයක් ලබාදෙන ලෙස හිටපු ජනාධිපතිවරයා ලිඛිතව දැනුම්දී ඇත.

මීට පෙරද ඔහු කොමිසම හමුවට කැඳවා තිබුණද, අලුත් අවුරුදු සමය හේතුවෙන් ඊට සහභාගිවීමට නොහැකි බව හිටපු ජනාධිපතිවරයා එහිදී ලිඛිතව දැනුම්දී තිබිණි.

නැවත වරක් කොමිසම ඊයේ (21) හිටපු ජනාධිපතිවරයාට ලිඛිතව දැනුම්දී ඇත්තේ කොමිසම හමුවට පැමිණෙන ලෙසය.

පාර්ලිමේන්තු මන්ත්‍රි චාමර සම්පත් දසනායක සම්බන්ධ පැමිණිල්ලකට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීමට හිටපු ජනාධිපතිවරයා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හමුවට කැඳවා තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ සිරිකොත මූලස්ථානයේ ඊයේ (21) පැවැති රැස්වීමකදීද හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ සිය නීතිඥයා විදෙස්ගතව සිටින බැවින් ඔහු මෙරටට පැමිණි පසුව කොමිසම හමුවට යන බවය.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

පොලීසියෙන් දැනුම්දීමක්

Published

on

By

සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වන ව්‍යාජ ලිපියක් සම්බන්ධව පොලීසිය විසින් කරුණු පැහැදිලි කිරීමක් සිදුකර තිබේ.

ඒ අනුව, මෙලෙස අසත්‍ය කරුණු ප්‍රචාරය කිරීමට සම්බන්ධ තැනැත්තන්ට එරෙහිව අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් විමර්ශන ආරම්භ කර ඇත.

“පරිගණක අපරාධ මූලස්ථානය” ලෙස සඳහන් කර වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නම සහ ව්‍යාජ ලෙස සකස් කරන ලද අත්සනක් ද සහිතව “විශ්වාස කිරීම (CONVICTION)” යන ශීර්ෂය යටතේ ඉංග්‍රීසි භාෂාවෙන් සකස් කරන ලද ලිපියක් මේ දිනවල සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වෙමින් පවතින බව පොලීසිය පවසයි.

මෙහි සඳහන් කරුණු කිසිදු නෛතික පදනමක් නොමැති එකිනෙකට නොගැලපෙන වචන භාවිතා කර පසුබිමින් ශ්‍රී ලංකා රාජ්‍ය ලාංඡනය, ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණ ලාංඡනය හා ශ්‍රී ලංකා පොලිස් නිල ලාංඡනයට සමාන ලෙස ලාංඡන මුද්‍රණය කර සකස් කර ඇති බවට ද නිරීක්ෂණය වී ඇති පොලීසිය නිවේදනය කරයි.

මෙම ලිපිය යොමු කරන ලද ආයතනය ලෙස සඳහන් “Cyber Crime Headquarters Colombo, Sri lanka” නමින් ආයතනයක් ශ්‍රී ලංකාව තුළ නොවන අතර මෙහි දක්වා ඇති තනතුරු හෝ කරුණු ශ්‍රී ලංකා පොලීසිය මඟින් ප්‍රකාශයට පත් නොකරන ලද, අසත්‍ය හා විකෘති කරන ලද කරුණු බවට ශ්‍රී ලංකා පොලීසිය මහජනතාව වෙත දන්වා සිටී.

මෙය හිතාමතාම ඉතා සැලසුම් සහගත ලෙස ශ්‍රී ලංකා පොලීසිය අපහසුතාවයට පත් කිරීම හා මහජනතාව නොමග යැවීම අරමුණු කරගෙන සකස් කරන ලද ලිපියක් බවට නිරීක්ෂණය වී ඇති බව පොලීසිය වැඩිදුරටත් සඳහන්ය.

Continue Reading

පුවත්

ව්‍යවස්ථාදායක සභාව අද රැස්වෙයි!

Published

on

By

නව විගණකාධිපතිවරයකු පත් කර ගැනීම සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා ව්‍යවස්ථාදායක සභාව පාර්ලිමේන්තුවේදී අද (22) රැස්වීමට නියමිතය.

මෙම තනතුර සඳහා ජාතික විගණන කාර්යාලයේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වන ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය විගණකාධිපති ධර්මපාල ගම්මන්පිල මහතා ඇතුළු කිහිප දෙනකුගේ නම් ඉදිරිපත්ව ඇත.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය විගණකාධිපතිවරයා නව විගණකාධිපතිවරයා ලෙස පත් කරන්නැයි එහි අංශ ප්‍රධානීන්ගේ සංසදය සහ ඒකාබද්ධ වෘත්තීය සමිති එකමුතුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ලිඛිතව ඉල්ලා තිබේ.

විගණකාධිපති තනතුර සඳහා මේ වන විට විවිධ පුද්ගලයන්ගේ නම් ඉදිරිපත් වී ඇති බව දැන ගැනීමට ලැබී ඇති නමුත් වංචාව හා දූෂණයෙන් තොර පිරිසුදු රාජ්‍ය පාලනයක් ඇති කිරීම සඳහා වූ රජයේ අපේක්ෂාව ඉටුකර ගැනීම සඳහා රාජ්‍ය විගණන ක්‍රියාවලියට පැවරී ඇති වගකීම ඉටු කිරීමට සුදුසුකම් සහිත නිලධාරියා වත්මන් වැඩ බලන විගණකාධිපතිවරයා යැයි තරයේ විශ්වාස කරන බවත් එම ඉල්ලීම්වල සඳහන් කර ඇත.

පුරප්පාඩු වී ඇති විගණකාධිපති තනතුර සඳහා ජාතික විගණන කාර්යාලයේ සේවයේ නියුතු සුදුසුකම් සහිත ජ්‍යෙෂ්ඨතම නිලධාරියාට ප්‍රමුඛතාව ලබා දීම මෙතෙක් පැවැති සම්ප්‍රදාය වූ බව සිහිපත් කරන එම වෘත්තීය සමිති ජාතික විගණන කාර්යාලයේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය විගණකාධිපතිවරයා ව්‍යවස්ථානුකූල සියලු සුදුසුකම් මෙන්ම එම තනතුර දැරීම සඳහා අවශ්‍ය සියලු අත්දැකීම් හා පළපුරුද්ද හා පරිචයන් සම්පූර්ණ කර සිටින බවත් සඳහන් කරයි.

මෙම නිලධාරීන් පෙන්වා දෙන්නේ බාහිර තැනැත්තෙක් එම තනතුරට පත් කිරීමෙන් රජය කෙරෙහි පවතින ජනතා විශ්වාසය පළුදු විය හැකි බවය.

අංශ ප්‍රධානීන්ගේ සංසදයට අංශ ප්‍රධානීහු හැට පස් දෙනෙක් අයත් වන අතර ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය ශ්‍රී ලංකා විගණන සේවා සංගමය, රාජ්‍ය සහකාර විගණන අධිකාරී සංගමය සහ රජයේ විගණන නිලධාරී සංගමය යන වෘත්තීය සංගම් අයත් වෙයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved