Connect with us

පුවත්

ඔනේෂ් සුබසිංහව ඝාතනය කර ඇත්තේ ජීවිත රක්ෂණය වෙනුවෙන්

Published

on

ඔපෙක්ස් හෝල්ඩින් සමූහ ව්‍යාපාරයේ හිමිකරු ඔනේෂ් සුබසිංහ මහතාගේ අබිරහස් ඝාතනය සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් මේ වනවිට හෙළිවී ඇතැයි වාර්තා වෙයි.

ඒ අනුව, ඔහුට අයත් ඩොලර් මිලියන 1.5ක ජීවිත රක්‍ෂණය සහ රුපියල් බිලියන ගණනක් වටිනා දේපළ ලබාගැනීමට මෙම ඝාතනය සිදුකර ඇති බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශනවලින් අනාවරණය වී ඇත.

එම අබිරහස් ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇත්තේ ඔනේෂ් සුබසිංහ මහතාගේ බ්‍රසීල ජාතික බිරිඳ සහ ඇයගේ මිතුරිය වෙතය.

ඔනේෂ් සුබසිංහ ඝාතනයෙන් පසු බ්‍රසීලයට පළාගිය ඔහුගේ බිරිඳ මෙම දේපළ තමන් සතු කරගැනීමට නොයෙකුත් උපක්‍රම භාවිත කරමින් සිටින බවද වාර්තා වෙයි.

ඉන්දුනීසියාවේ සුපිරි මහල් නිවාසයකදී ඔනේෂ් සුබසිංහ මහතාව අබිරහස් අන්දමින් ඝාතනය කිරීමෙන් පසු ඔහුගේ බ්‍රසීල ජාතික බිරිඳ සහ මිතුරිය පළාගොස් ඇත්තේ, ඔනේෂ් සතුව තිබූ ක්‍රෙඩිට් කාඩ්පත්, ජංගම දුරකථන, මිලියන ගණනක් වටිනා අත්ඔරලෝසුව ඇතුළු තවත් වටිනා භාණ්ඩ රැසක් ද රැගෙන බව විමර්ශන නිලධාරීන් අනාවරණය කරගෙන තිබේ.

අදාළ ව්‍යාපාරිකයාගේ බ්‍රසීල ජාතික බිරිඳ, සිව් හැවිරිදි දියණිය සහ තවත් බ්‍රසීල ජාතික කාන්තාවක් එලෙස එම මහල් නිවසේ රැඳී සිට තිබුණි.

ඊට අමතරව ඔනේෂ්ගේ බිරිඳ ඉන්දුනීසියාවේ විනෝද චාරිකාවට යද්දී ද ඔහුට අයත්ව තිබූ මෙරට වටිනා දේවලින් සැලකියයුතු ප්‍රමාණයක් ද රැගෙන ගොස් ඇති බව වාර්තා වෙයි.

ඔනේෂ් සුබසිංහ මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ඉන්දුනීසියාවේ විශේෂ පොලිස් කණ්ඩායමක් පුළුල් විමර්ශන පවත්වයි.

සිය සැමියා ඝාතනය කිරීමේ සැලසුම ක්‍රියාත්ම කිරීම සඳහා ඔහුගේ බිරිඳ මෙම සහායිකාව මෙරටට ගෙන්වාගෙන ඇති බවටද පොලීසිය සැක පළ කරයි.

ඒ අනුව ශ්‍රී ලංකාවට පැමිණි මෙම බ්‍රසීල ජාතික කාන්තාව, ඔනේෂ් මහතා සහ බිරිඳ නවාතැන් ගෙන සිටි වෝඩ් පෙදෙසේ පිහිටි සුපිරි මහල් නිවාසයේ නවාතැන් ගෙන සිට ඇත.

පොලීසිය පවසන්නේ, මෙම බ්‍රසීල ජාතික කාන්තාවන් දෙදෙනා එහි සිට ඔනේෂ් සුබසිංහ මහතා ඝාතනය කිරීමේ සැලසුම සකස් කරන්නට ඇති බවය.

ඔනේෂ් සුබසිංහ මහතා ශ්‍රී ලංකාවේදී ඝාතනය කර බ්‍රසීලයට පළායෑම අපහසු නිසා ඔහුව විදේශ රටකට රැගෙන ගොස් එහිදී අභිරහස් අන්දමින් ඝාතනය කර එරටින් පළායෑමට සැකකාර කාන්තාවන් දෙදෙනා සැලසුම් කර තිබු බවද පොලීසිය පැවසීය.

ඉන්දුනීසියාවේ සංචාරයක් සඳහා යෑමට මොවුන් සැලසුම් කර ඇත්තේ, ඒ අනුව බව පොලීසිය සැකකරයි.

ඔනේෂ් සුබසිංහ මහතා, සිය බ්‍රසීල ජාතික බිරිඳ වන රෝසා සිල්වා, සිව් හැවිරිදි දියණිය සහ බ්‍රසීල ජාතික මෙහෙකාර කාන්තාව සමඟ ඉන්දුනීසියාව බලා පිටත්ව ගොස් තිබුණේ ඉකුත් ජනවාරි 20 වනදාය.

ඔවුන් ජකාර්තාහි මහල් නිවාස සංකීර්ණයක නැවතී ඇත්තේ තාවකාලික පදනමිනි.

ඔහු ව්‍යාපාර කටයුතු වෙනුවෙන් සිය කාර්යාලයේ නිලධාරීන් සමග එරට සිට වට්ස්ඇප් ඔස්සේ සම්බන්ධ වී තිබුණත් ජනවාරි 31 වනදා සිට ඔවුන්ට ඔහුව සම්බන්ධ කරගැනීමට හැකිව නොමැති බව අනාවරණය වී තිබේ.

මෙවන් පසුබිමක ජකාර්තාහි මහල් නිවාස සංකීර්ණයේ සුබසිංහ මහතා සිටි නිවාසය වසා දමා තිබීම ගැන සැක සිතී එහි සේවකයින් දොර විවෘත කර බැලීමේ දී ඔහුගේ මළ සිරුර එහි තිබී සොයාගෙන තිබුණි.

මේ පිළිබඳව එහි පාලනාධිකාරිය ඔනේෂ් සුබසිංහ මහතාගේ මෙරට පෞද්ගලික ලේකම්වරිය වෙත පෙබරවාරි 03 වනදා දැනුම් දී තිබුණි.

නිවාස සංකීර්ණයේ පාලනාධිකාරිය සීසීටීවී පරීක්ෂා කිරීමේදී පෙනී ගොස් ඇත්තේ ජනවාරි 31 වන අඟහරුවාදා ඔනේෂ් සුබසිංහ මහතාගේ බිරිඳ, සිව් හැවිරිදි දියණිය සහ මෙහෙකාර කාන්තාව එහි දොරෙහි “DON’T DISTURB” යන පුවරුව එල්ලා ඉන් පිටව යන ආකාරයයි.

(අදදෙරණ)

පුවත්

රනිල්, රොනල්ඩ් ආවම අල්ලස් කොමිසමට එන්නම් කියයි!

Published

on

By

ලබන 25 වැනිදා පෙරවරු 9.30 ට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හමුවට පැමිණීමට හැකියාවක් නොමැති බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම කොමිසමට ලිඛිතව දැනුම් දී ඇතැයි වාර්තා වේ.

සිය නීතිඥවරයා වන ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා මහතා විදෙස්ගතව සිටින බැවින් මෙම 27 වැනිදායින් පසුව කොමිසමට පැමිණීමට දිනයක් ලබාදෙන ලෙස හිටපු ජනාධිපතිවරයා ලිඛිතව දැනුම්දී ඇත.

මීට පෙරද ඔහු කොමිසම හමුවට කැඳවා තිබුණද, අලුත් අවුරුදු සමය හේතුවෙන් ඊට සහභාගිවීමට නොහැකි බව හිටපු ජනාධිපතිවරයා එහිදී ලිඛිතව දැනුම්දී තිබිණි.

නැවත වරක් කොමිසම ඊයේ (21) හිටපු ජනාධිපතිවරයාට ලිඛිතව දැනුම්දී ඇත්තේ කොමිසම හමුවට පැමිණෙන ලෙසය.

පාර්ලිමේන්තු මන්ත්‍රි චාමර සම්පත් දසනායක සම්බන්ධ පැමිණිල්ලකට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීමට හිටපු ජනාධිපතිවරයා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හමුවට කැඳවා තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ සිරිකොත මූලස්ථානයේ ඊයේ (21) පැවැති රැස්වීමකදීද හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ සිය නීතිඥයා විදෙස්ගතව සිටින බැවින් ඔහු මෙරටට පැමිණි පසුව කොමිසම හමුවට යන බවය.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

පොලීසියෙන් දැනුම්දීමක්

Published

on

By

සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වන ව්‍යාජ ලිපියක් සම්බන්ධව පොලීසිය විසින් කරුණු පැහැදිලි කිරීමක් සිදුකර තිබේ.

ඒ අනුව, මෙලෙස අසත්‍ය කරුණු ප්‍රචාරය කිරීමට සම්බන්ධ තැනැත්තන්ට එරෙහිව අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් විමර්ශන ආරම්භ කර ඇත.

“පරිගණක අපරාධ මූලස්ථානය” ලෙස සඳහන් කර වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නම සහ ව්‍යාජ ලෙස සකස් කරන ලද අත්සනක් ද සහිතව “විශ්වාස කිරීම (CONVICTION)” යන ශීර්ෂය යටතේ ඉංග්‍රීසි භාෂාවෙන් සකස් කරන ලද ලිපියක් මේ දිනවල සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වෙමින් පවතින බව පොලීසිය පවසයි.

මෙහි සඳහන් කරුණු කිසිදු නෛතික පදනමක් නොමැති එකිනෙකට නොගැලපෙන වචන භාවිතා කර පසුබිමින් ශ්‍රී ලංකා රාජ්‍ය ලාංඡනය, ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණ ලාංඡනය හා ශ්‍රී ලංකා පොලිස් නිල ලාංඡනයට සමාන ලෙස ලාංඡන මුද්‍රණය කර සකස් කර ඇති බවට ද නිරීක්ෂණය වී ඇති පොලීසිය නිවේදනය කරයි.

මෙම ලිපිය යොමු කරන ලද ආයතනය ලෙස සඳහන් “Cyber Crime Headquarters Colombo, Sri lanka” නමින් ආයතනයක් ශ්‍රී ලංකාව තුළ නොවන අතර මෙහි දක්වා ඇති තනතුරු හෝ කරුණු ශ්‍රී ලංකා පොලීසිය මඟින් ප්‍රකාශයට පත් නොකරන ලද, අසත්‍ය හා විකෘති කරන ලද කරුණු බවට ශ්‍රී ලංකා පොලීසිය මහජනතාව වෙත දන්වා සිටී.

මෙය හිතාමතාම ඉතා සැලසුම් සහගත ලෙස ශ්‍රී ලංකා පොලීසිය අපහසුතාවයට පත් කිරීම හා මහජනතාව නොමග යැවීම අරමුණු කරගෙන සකස් කරන ලද ලිපියක් බවට නිරීක්ෂණය වී ඇති බව පොලීසිය වැඩිදුරටත් සඳහන්ය.

Continue Reading

පුවත්

ව්‍යවස්ථාදායක සභාව අද රැස්වෙයි!

Published

on

By

නව විගණකාධිපතිවරයකු පත් කර ගැනීම සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා ව්‍යවස්ථාදායක සභාව පාර්ලිමේන්තුවේදී අද (22) රැස්වීමට නියමිතය.

මෙම තනතුර සඳහා ජාතික විගණන කාර්යාලයේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වන ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය විගණකාධිපති ධර්මපාල ගම්මන්පිල මහතා ඇතුළු කිහිප දෙනකුගේ නම් ඉදිරිපත්ව ඇත.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය විගණකාධිපතිවරයා නව විගණකාධිපතිවරයා ලෙස පත් කරන්නැයි එහි අංශ ප්‍රධානීන්ගේ සංසදය සහ ඒකාබද්ධ වෘත්තීය සමිති එකමුතුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ලිඛිතව ඉල්ලා තිබේ.

විගණකාධිපති තනතුර සඳහා මේ වන විට විවිධ පුද්ගලයන්ගේ නම් ඉදිරිපත් වී ඇති බව දැන ගැනීමට ලැබී ඇති නමුත් වංචාව හා දූෂණයෙන් තොර පිරිසුදු රාජ්‍ය පාලනයක් ඇති කිරීම සඳහා වූ රජයේ අපේක්ෂාව ඉටුකර ගැනීම සඳහා රාජ්‍ය විගණන ක්‍රියාවලියට පැවරී ඇති වගකීම ඉටු කිරීමට සුදුසුකම් සහිත නිලධාරියා වත්මන් වැඩ බලන විගණකාධිපතිවරයා යැයි තරයේ විශ්වාස කරන බවත් එම ඉල්ලීම්වල සඳහන් කර ඇත.

පුරප්පාඩු වී ඇති විගණකාධිපති තනතුර සඳහා ජාතික විගණන කාර්යාලයේ සේවයේ නියුතු සුදුසුකම් සහිත ජ්‍යෙෂ්ඨතම නිලධාරියාට ප්‍රමුඛතාව ලබා දීම මෙතෙක් පැවැති සම්ප්‍රදාය වූ බව සිහිපත් කරන එම වෘත්තීය සමිති ජාතික විගණන කාර්යාලයේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය විගණකාධිපතිවරයා ව්‍යවස්ථානුකූල සියලු සුදුසුකම් මෙන්ම එම තනතුර දැරීම සඳහා අවශ්‍ය සියලු අත්දැකීම් හා පළපුරුද්ද හා පරිචයන් සම්පූර්ණ කර සිටින බවත් සඳහන් කරයි.

මෙම නිලධාරීන් පෙන්වා දෙන්නේ බාහිර තැනැත්තෙක් එම තනතුරට පත් කිරීමෙන් රජය කෙරෙහි පවතින ජනතා විශ්වාසය පළුදු විය හැකි බවය.

අංශ ප්‍රධානීන්ගේ සංසදයට අංශ ප්‍රධානීහු හැට පස් දෙනෙක් අයත් වන අතර ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය ශ්‍රී ලංකා විගණන සේවා සංගමය, රාජ්‍ය සහකාර විගණන අධිකාරී සංගමය සහ රජයේ විගණන නිලධාරී සංගමය යන වෘත්තීය සංගම් අයත් වෙයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved