Connect with us

පුවත්

ඔස්ට්‍රේලියාවෙන් ලංකාවට ගුවන් යානයක් තෑගි දෙයි!

Published

on

ඔස්ට්‍රේලියානු රජය විසින් ඒරට රාජකීය ඔස්ට්‍රේලියානු ගුවන් හමුදාවට අයතව තිබූ බීච්ක්‍රාෆ්ට් KA350 King Air ගුවන් යානයක් ශ්‍රී ලංකා රජයට ප්‍රදානය කිරීමට තීරණය කර ති‌බේ.

ශ්‍රී ලංකාවේ ස්වෛරී ගුවන් නාවික නිරීක්ෂණ හැකියාව වැඩි දියුණු කිරීම සඳහා ඔස්ට්‍රේලියානු රජය විසින් එම ප්‍රදානය කරන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

මෙම ගුවන් යානය පිරිනැමීමට අදාළව ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍ය ක්ලෙයාර් ඕ’නෙයිල් (Clare O’ Neil) මහත්මිය විසින් ලබාදුන් ලිපිය ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්  පෝල් ස්ටෙෆන් මහතා විසින් පසුගියදා ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත නිල වශයෙන් භාර දෙනු ලැබීය.

බීච්ක්‍රාෆ්ට් KA350 King Air යනු නවීන ද්විත්ව එන්ජින් සහිත turboprop ගුවන් යානයකි.

මෙම ත්‍යාගය ශ්‍රි ලංකාවට සිය සමුද්‍රීය ආරක්ෂාව ශක්තිමත් කර ගැනීමේ හැකියාව වැඩිදියුණු කරනු ඇති බව එම ලිපියෙහි සඳහන්ව ඇතැයි ජනපති මාධ්‍ය අංශය කියයි.

ඒසේම, එය ජාත්‍යන්තර අපරාධ මැඩලීමේ දී දෙරට අතර සමීප සහයෝගිතාව තහවුරු කරන්නක් බවත්, මුහුදු මාර්ග ඔස්සේ සිදු කරන මිනිස් ජාවාරම මැඩලීමේ ක්‍රියාවලිය සඳහා ද මෙමගින් පුළුල් දායකත්වයක් ලබාගත හැකි වනු ඇති බවත් එම ලිපියෙන් පෙන්වා දී ඇති බව පැවැසේ.

අදාළ ගුවන් මෙහෙයුම් පිළිබඳ ඕස්ට්‍රේලියානු රජය  මාස 12 ක කාලයක් ශ්‍රී ලංකාවට සහාය ලබා දෙනු ඇති අතර ඉන් අනතුරුව එහි වගකීම ශ්‍රී ලංකා රජය සතු වේ.

ඕස්ට්‍රේලියානු නියෝජ්‍ය මහ කොමසාරිස් ලලිතා කපූර් මහත්මිය, පළමු ලේකම් බ්‍රෙට් සෙහන්ඩර් මහතා සහ ආරක්ෂක උපදේශක කපිතාන් ඉයන් කේන් යන මහත්වරුන් ද මෙම අවස්ථාවට සහභාගි වී ඇත.

පුවත්

පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීම පිළිබඳ ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ ශෝකය

Published

on

By

ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ  (උපත් නාමය ජෝර්ජ් මාරියෝ බර්ගොග්ලියෝ) ස්වර්ගස්ථ වීම පිළිබඳ  ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ  සභාපති,ජපානයේ  ප්‍රධාන සංඝනායක අති පූජ්‍ය බානගල උපතිස්ස නා හිමියෝ බලවත් ශෝකය ප්‍රකාශ කරති.

අවස්ථා කීපයකදීම මට හමුවූ ශුද්ධෝතම ප්‍රැන්සිස් පාප් වහන්සේ  අතිශය නිහතමානී කමින් යුක්ත, ආගමික සහජීවනය පිළිබඳ ඉතාමත් ගැඹුරු දර්ශනයකින් යුත් දිළිඳු ජනයා කෙරෙහි මහා ආදරයකින් යුක්ත යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ගෞරවනීය ශ්‍රාවකයෙකි.

2015 දී ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කළ අවස්ථාවේ දී මාලිගාකන්ද අග්‍රශ්‍රාවක මහාබෝධි විහාරයට සැපත්වීම උන් වහන්සේගේ ආගමික සහජීවනයේ කැපී පෙනුණු සිදුවීමක් විය.උන් වහන්සේ ඒ අවස්ථාවේ දී මා හට ප්‍රකාශ කළේ බෞද්ධ විහාරයකට සැපත් වූ ප්‍රථම පාප් වහන්සේ තමන් බවය.

උන් වහන්සේ 1936 දෙසැම්බර් 17 දින උපත ලැබීය. ජේසුස් වහන්සේගේ සමාජයෙන් (ජේසුයිට් නිකායෙන්)  පාප් වහන්සේ ලෙස පත් වූ පළමු පාප් වහන්සේ ලෙසත් ඇමරිකාවෙන් බිහි වූ  සහ 8 වන සියවසේ සිරියාවෙන් පත් වූ තුන්වන ග්‍රෙගරි පාප් වහන්සේ ගෙන් පසු යුරෝපයෙන් පිටත උපත ලැබූ හෝ හැදී වැඩී උත්තරීතර පාප් වහන්සේ තනතුරට පත් වූ පළමු පාප් වහන්සේ ලෙස ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ රෝමානු කතෝලික පල්ලියේ ඉතිහාසගත වූ චරිතය වේ.

සැබෑ කිතු දහම හා සාමය ලොව පුරා ප්‍රචලිත කිරීමට සිය ජීවිත කාලයම කැප කළ උන් වහන්සේට ස්වර්ග මෝක්ෂ සුවය ලැබේවායි අපි ප්‍රාර්ථනා කරමු යැයි බානගල උපතිස්ස නා හිමියෝ සිය ශෝක පණිවිඩයෙන් ප්‍රාර්ථනා කරති.

ඡායාරූපය – News1st 

Continue Reading

පුවත්

කටුනායක වෙඩි තැබීමක්

Published

on

By

කටුනායක, ආඩිඅම්බලම, දැවමොට්ටාව ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුකර තිබේ.

අද (22) උදෑසන 9.30ට පමණ එම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලීසිය පවසයි.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු ගිනිඅවි සමග නිවසකට ඇතුළුවී ටී-56 ගිනිඅවියකින් වෙඩිතැබීමක් සිදුකර ඇතැයි පොලීසිය පැවසීය.

ගිනිඅවිය ක්‍රියාවිරහිත වීම හේතුවෙන් එක් පුද්ගලයෙක් එම ස්ථානයෙන් පලාගොස් ඇත.

පසුව අනෙක් පුද්ගලයා නිවසේ කොටුවී ඇති අතර ඔහු තාප්පයකින් පැන යෑමට උත්සාහ කිරීමේ දී ඇදවැටී කකුල් දෙකට දැඩි හානි සිදුව තිබේ.

පොලීසිය පැවසුවේ එම අවස්ථාවේ දී ඔහු අතැතිව තිබූ ගිනිඅවියෙන් අහසට වෙඩිතබා ඇති අතර, එවිට ප්‍රදේශවාසීන් එම ස්ථානයට රැස්ව ඇති බවය.

කෙසේවෙතත් මේ වනවිට වෙඩිතැබීමට පැමිණි එම පුද්ගලයා මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබන බව ද පොලීසිය පැවසීය.

Continue Reading

පුවත්

“සිරි දළදා වන්දනාවට” පැමිණෙන සැදැහැවතුන්ට ඉල්ලීමක්

Published

on

By

සිරි දළදා වන්දනාව සඳහා දළදා මාළිගා පරිශ්‍රය වෙත පැමිණෙන සැදැහැවතුන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ, පොලිතින් ඇතුළු නොදිරන ද්‍රව්‍ය රැගෙන ඒමෙන් වළකින ලෙසත්, දළදා මාළිගය අවට පරිසරයේ පවිත්‍රතාව රැක ගැනීම පිළිබඳව උපරිම අවධානය යොමු කරන ලෙසත්ය.

අදාල නිවේදනය,

“ක්ලීන් ශ්‍රී ලංකාවක්” වෙනුවෙන් පුරවැසි වගකීම ඉටු කරමු! –  “සිරි දළදා වන්දනාවට” පැමිණෙන සැදැහැවතුන්ට ඉල්ලීමක්

සිරි දළදා වන්දනාව සඳහා දළදා මාළිගා පරිශ්‍රය වෙත පැමිණෙන සැදැහැවතුන් පොලිතින් ඇතුළු නොදිරන ද්‍රව්‍ය රැගෙන ඒමෙන් වළකින ලෙසත්, දළදා මාළිගය අවට පරිසරයේ පවිත්‍රතාව රැක ගැනීම පිළිබඳව උපරිම අවධානය යොමු කරන ලෙසත්, එසේම කැළිකසළ අදාළ ස්ථානවලටම පමණක් බැහැර කිරීම වෙනුවෙන් සාමුහිකව මැදිහත් වෙමින් පුරවැසියන් ලෙස වගකිම ඉටු කරන ලෙසත්  “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන සිහිපත් කර සිටියි.

රට තුළ සාමාජයීය, පාරිසරික සහ ආචාරධාර්මික පිබිදීමක් ඇති කරමින් සමාජය වඩා ඉහළ තලයකට ඔසවා තැබීමේ අරමුණින් රජයේ ප්‍රමුඛ වැඩසටහනක් ලෙස “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන ක්‍රියාත්මක කර තිබේ.

කැළිකසළවලින් තොර පරිසරයක් නිර්මාණය කිරීම මෙන්ම නිසි පරිදි කැළිකසළ බැහැර කිරීමේ යහ පුරුද්ද සමාජගත කිරීමද මෙම වැඩසටහන යටතේ විශේෂ අවධානයක් යොමු කර ඇති කරුණකි.

පසුගිය දා ආරම්භ වූ සිරි දළදා දැක්මට සමගාමීව ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රය කේන්ද්‍ර කර ගනිමින්  “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන යටතේ වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවා තිබේ.

– ජනාධිපති මාධ්‍ය අංශය – 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved