පුවත්

ඕල්කට්ගේ පුංචි අම්මාගේ පිස්තෝලය පත්තු වෙයි!

Published

on

මියගිය විශේෂඥ වෛද්‍යවරයකුට අයත් බොරැල්ල ෆෙයාර් හිල් උද්‍යානයේ පිහිටි දෙමහල් නිවසක හිමිකම් කියා පැමිණ සෙල්ලම් පිස්තෝලයක් පෙන්වා එම නිවසේ පදිංචිකරුවන්ට මරණීය තර්ජනය කළ කාන්තාවක ඇතුළු සැකකරුවන් හත් දෙනකු බොරැල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති කාන්තාව මියගිය පාතාල කල්ලි නායකයකු වන “වනාතේ ඕල්කට්” නමැත්තාගේ පුංචි අම්මා බව පොලිසිය කියයි.

මෙම නිවසේ විසූ විශේෂඥ වෛද්‍යවරයා මීට දින කිහිපයකට පෙර මියගොස් ඇති අතර ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ වෙසෙන ඔහුගේ පුතු පැමිණ අවසන් කටයුතු සිදුකර නැවතත් එරටට පිටව ගොස් තිබිණි.

වෛද්‍යවරයා මියගොස් දින කිහිපයකට පසු බොරැල්ල පොලිසියට පැමිණි කාන්තාවක් තමන් මහනුවර සිට පැමිණි බවත් වෛද්‍යවරයා ජීවත්ව සිටි කාලයේ මෙම නිවස තමාට ලක්ෂ 80 ක මුදලකට විකුණු බවත් තමා එහි පදිංචියට යන බවත් පවසා තිබිණි.

ඇයගේ එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බොරැල්ල පොලිසියේ සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ශ්‍රියාරත්න කුරුප්පුආරච්චි ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන තෙක් එහි පදිංචියට නොයන ලෙසත් මේ සම්බන්ධයෙන් මුලින්ම පැමිණිල්ලක් සිදුකරන ලෙසත් එම කාන්තාවට දැනුම් දී තිබිණි.

ඒ අනුව කරන ලද පැමිණිල්ල විභාග කිරීමට අදාළ නිවසට ගිය බොරැල්ල පොලිසියේ නිලධාරින් එම නිවසේ සිටි වෛද්‍යවරයාගේ සියලු කටයුතු වසර ගණනාවක සිට බලා ගත් පුද්ගලයකුගෙන් ප්‍රශ්න කර තිබිණි. එහිදී ඔහු පවසා තිබුණේ මෙම නිවස කිසිවකුට හෝ විකුණා නැති බවත් වෛද්‍යවරයාගේ ඇමරිකාවේ සිටින පුතු ඉල්ලූ අවස්ථාවක නිවස ඔහු වෙත ලබාදීමේ කොන්දේසිය මත ඇටෝර්නි බලපත්‍රයක් මගින් තමන්ට මෙම නිවස හා ඉඩම පවරා තිබෙන බවත්ය.

මෙම පැමිණිල්ල අද (13දා) විභාගයට ගැනීමට නියමිතව තිබියදී පෙරේදා (11දා) කාන්තාවක් ඇතුළු හත් දෙනකුගෙන් කණ්ඩායමක් මෙම නිවසට ගොස් නිවසේ සිටි පුද්ගලයාට ගිනි අවි පෙන්වා මරණීය තර්ජන කර නිවසෙන් බැහැර වන ලෙසට නියම කර තිබිණ.

ඒ පිළිබඳ ලද තොරතුරකට අනුව එම ස්ථානයට ගිය පොලිසිය මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබුණු අතර ඔවුන් සැලසුම් සහගතව මෙම නිවස අත්පත් කර ගැනීමේ උත්සහායක නිරතව ඇති බවත් ඔවුන් තර්ජනය කිරීම සඳහා යොදාගෙන ඇත්තේද බොරු පිස්තෝලයක් බවත් අනාවරණය වී ඇත.

වැඩිදුර විමර්ශනවලදී මෙම පිරිස මෙම නිවසට ගොස් ඇත්තේ මිය ගිය පාතාල නායක වනාතේ ඕල්කට් නමැත්තාගේ පුංචි අම්මා වන සැකකාර කාන්තාවගේ ඉල්ලීම මත බව අනාවරණය වන අතර බොරැල්ල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ.ජේ.එම්.ආර්. සමරසිංහගේ උපදෙස් මත සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ශ්‍රියාරත්න කුරුප්පුආරච්චි ඇතුළු නිලධාරින් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

(අරුණ)

Trending

Exit mobile version