පුවත්

කච්චතිවු මංගල්‍යයට ඉන්දීය බැතිමතුන් 2,500ක්

Published

on

මාර්තු 02- 04 අතර පැවති මෙවර කච්චතිවු ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය සඳහා ඉන්දීය බැතිමතුන් 2,500කට ආසන්න පිරිසක් සහභාගී වී ඇති අතර, ඉන් වැඩි දෙනෙක් පූජ්‍ය පක්ෂය නියෝජනය කළ අය සහ ධීවරයන් විය.

ශ්‍රී ලාංකික බැතිමතුන් 3,000ක් පමණ ද මෙම වාර්ෂික මංගල්‍යය සඳහා සහභාගී වී තිබේ. මෙම වාර්ෂික මංගල්‍යයට, පසුගිය දෙවසරේදීම කොවිඩ්-19 වසංගතයෙන් බලපෑම් එල්ල වී තිබුණි.

ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා මාර්තු 03 දින ඉන්දීය වන්දනාකරුවන් පිළිගත් අතර එදිනම විශේෂ යැදුම් සහ සවස් වරුවේදී පූජාව පැවැත්විණ. මාර්තු 04දා ඉන්දීය සහ ශ්‍රී ලංකා පූජකවරුන් විසින් ධීවරයන්ගේ භාරකාර ශාන්තුවරයා වන පාදුවා හි ශාන්ත අන්තෝනි මුනිතුමා වෙනුවෙන් විශේෂයෙන් කැපකළ පූජාවක් පැවැත්වීමෙන් අනතුරුව සාම්ප්‍රදායික අයුරින් වාර්ෂික මංගල්‍යය පැවැත්විණ.

ඉන්දියානු සහ ශ්‍රී ලාංකික වන්දනාකරුවන්ගේ ශිල්පීය දස්කම් රැගත් භාණ්ඩ ප්‍රදර්ශනය කරන සහ අලෙවි කරන කුටි රැසක් ද මෙහිදී පැවැත්විණ.

මෙම වසරේ මංගල්‍යය සඳහා ඉන්දීය රජය විසින් මූල්‍ය සහයෝගය ලබා දී තිබුණු අතර, යාපනයේ ඉන්දීය කොන්සියුලර් ජෙනරාල් රාකේෂ් නට්රාජ් මහතා සහ කොන්සියුලර් ජෙනරාල් කාර්යාලයේ අනෙකුත් නිලධාරිහු මෙම උත්සවයේ ආරාධිත අමුත්තන් ලෙස සහභාගී වූහ. ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ ජනතාව අතර පවතින ශක්තිමත් සබඳතා පිළිඹිබු කරන අවස්ථාවක් වන මෙම මංගල්‍යය, දෙරට ධීවර ප්‍රජාව අතර සමීප අන්තර්ක්‍රියා සඳහාද මඟ පෑදීමට ඉඩකඩ සලසයි.

Trending

Exit mobile version