Connect with us

පුවත්

කතරගම මහ කපු සොමිපාල අත්අඩංගුවට ගන්න සොයයි

Published

on

රුහුණු කතරගම මහා දේවාලයට පාතාල නායක අංගොඩ ලොක්කාගේ බිරිඳ විසින් දරුවාගේ අපලයට පූජා කළ රත්‍රන් පවුම් 38ක් බරැති රත්රන් තැටිය අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව මහ දේවාලයේ ප්‍රධාන කපු මහතා සහ දේවාලයේ ගබඩාව භාර කපු මහතා අත්අඩංගුවට ගැනීමට නීතිපතිවරයා උපදෙස් ලබාදී ඇත.

මෙසේ අත්අඩංගුවට ගැනීමට නියෝග ලැබී ඇත්තේ කතරගම මහා දේවාලයේ ප්‍රධාන කපු ධුරන්දර සොමිපාල රත්නායක හා එම දේවාලයේ ගබඩාව භාර කපු ධුරන්දර ප්‍රධාන කපුරාලගේ මුනුපුරා වන සමන් ප්‍රියන්ත නොහොත් චූටි කපු මහතාවය.

මෙම රන්තැටිය අතුරුදන් වීම සම්බන්ධව රුහුණු කතරගම දේවායේ බස්නායක නිලමේ ඩිෂාන් වික්‍රමරත්න ගුණසේකර විසින් 2021 ඔක්තෝබර් මාසයේදී පොලිස්පතිවරයාට කරන ලද පැමිණිල්ලකින් පසුව විමර්ශන සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාරදී තිබිණි.

ඒ අනුව එහි අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි නෙවිල් සිල්වා යටතේ ඒකක අංක 1 ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩී.ජේ. නිශාන්ත යටතේ විමර්ශන ඇරඹී තිබිණි.

එහිදී කරන ලද විමර්ශනවලදී අංගොඩ ලොක්කා හෙවත් මද්දුමගේ ලසන්ත චන්දන පෙරේරාගේ බිරිඳ වන අබේසිංහගේ නිසංසලා ප්‍රකාශ මගින් ලබාදී ඇත්තේ තම පුතාගේ අපලයන් දුරුවන්නට පුතුගේ නම කෙටූ රත්‍රන් තැටියක් කතරගම දේවාලයට පූජා කළ බවය.

දරුවාගේ වයසට සරිලන පවුම් පහක් පූජා කිරීමට ගියද පසුව දේවාලයේ කපු මහතුන්ගේ උපදෙස් මත අංගොඩ ලොක්කාගේ වයසට සරිලන්නට පවුම් තිස්අටක් බරැති රත්රන් යොදා තැටිය හැදු බවද හෙළි වී ඇත.

කතරගම හෝටලයක අරක්කැමියකු වූ සුජිත් ප්‍රසන්න නමැත්තාට අංගොඩ ලොක්කා ඉමෝ තාක්ෂණයෙන් කතා කර රත්‍රන් තැටිය සාදා දීමට කටයුතු සලසා දෙන්නැයි කී බවත් ඒ අනුව කඩුවෙලට ගිය පසු අංගොඩ ලොක්කාගේ ගෝලයන් ගෙනවිත් දුන් රත්‍රං බිස්කට් කතරගම රන් බඩු සාදන අයෙකුගෙන් උණුකර තැටිය සකස් කර දුන් බවත් හෙළි වී ඇත.

ඒ අනුව 2019 ජූලි 3දා කතරගම දේවාලයට අංගොඩ ලොක්කාගේ බිරිඳ දරුවා රැගෙන ගොස් පූජා කළ බවත් එහි පූජාව කළේ ප්‍රධාන කපු මහතා වන සොමිපාල ටී. රත්නායක බවත් හෙළි වී තිබේ. 

කතරගම මහා දේවාලයේ කපු මහතුන් 15 දෙනෙකු සේවය කරන බවත්, සෑම මාසයකම මාසය භාර කපු මහතා ලෙස නම්කරන අය එම මාසයේ පූජා කරන මුදල් හා දේපළ ලබාගෙන ඇති බවත් හෙළි වී ඇත. බැතිමතුන් පූජා කරන වටිනා භාණ්ඩ දේවාල මාලිගාවේ ගබඩා කර තැබිය යුතු අතර එයට ඇතුළු වීමට අවසර ඇත්තේ කපු මහතුන් 15 දෙනාට සහ බස්නායක නිලමේවරයාට පමණි.

අංගොඩ ලොක්කාගේ බිරිඳ පැමිණ රන් තැටිය පූජා කරන මාසයේ තේවාව භාරව සිට ඇත්තේ ප්‍රධාන කපු මහතා බවත්, ගබඩාව භාර කපු ධුරන්දර සමන් ප්‍රියන්ත විසින් එය පූජා කර සති දෙකකට පසු සොමිපාල රත්නායක ප්‍රධාන කපු මහතාගේ කාමරයට එම රන් තැටිය ගෙනගොස් තැබූ බවත් ප්‍රකාශ ලබාදීමේදී හෙළිකර ඇත.

මෙය අතුරුදන් බව බස්නායක නිලමේවරයාට ලද නිර්ණාමික ඇමතුමකින් පසු කරන ලද පැමිණිල්ලෙන් පසුව කපු මහතුන් ගෙන්වා තොරතුරු විමසා ඇත.

මෙම රත්‍රං තැටිය පූජා කර දවස් තුනක් එය දේවාලයේ තැබූ පසු අංගොඩ ලොක්කාගේ බිරිඳ එය නැවත රැගෙන ගිය බවට බස්නායක නිලමේට බොරුවක් කියන ලෙසට ප්‍රධාන කපුමහතා තමාට දැන් වූ බව මෙය පූජා කිරීමට මැදිහත් වූ අරක්කැමියා විමර්ශනවලදී පවසා ඇත.

මෙම සිද්ධියෙන් කපු මහතුන්ට අපකීර්තියක් වන නිසා රත්‍රං බන්දේසියක් නැවත සාදා දේවාලයේ තැන්පත් කිරීමට කටයුතු කළ බව ප්‍රධාන කපුරාල හා ගබඩාව භාර කපුරාලගේ ප්‍රකාශවලින් හෙළි වී තිබේ. 

ඒ අනුව පූජා කරන ලද රන්තැටිය ලෙස හඟවා 2021 ඔක්තෝබර් 26 දින නැවත දේවාලයට රන් තැටියක් භාරදී ඇති බවත් හෙළි වී ඇත.

සොමිපාල කපු මහතා හෙවත් සිය මුත්තා බේරාගැනීමට කලින් රන්තැටිය නිර්මාණය කළ කතරගම මාලන් නමැති අයට රුපියල් ලක්ෂ 41ක් දී නැවත රත්‍රං තැටියක් සාදාගත් බවත් එය මුලින් සාදා රැගෙන ගොස් මුත්තාගේ උපදෙස් මත දේවාලයට නැවත තැටිය ගෙනවිත් දුන් බවත් සමන් ප්‍රියන්ත හෙවත් චූටි කපු මහතා විමර්ශනවලදී හෙළිකර තිබේ. අතුරුදන් කළ තැටියේ අනුරුව නිර්මාණය කර නැවත දේවාලයේ තැන්පත් කර ඇත්තේ පොලිස් විමර්ශන යන අතරතුරේදීය.

මේ සම්බන්ධ කොළඹ අපරාධ කොට්ඨාසය තිස්සමහාරාම මහෙස්ත්‍රාත් අධිකරණය බී 73047/2021 යටතේ නඩු පවරා නීතිපතිවරයාගෙන් උපදෙස් ඉල්ලා ඇත.

ඒ අනුව නීතිපති උපදෙස් ඊයේ (07) වන විට කොළඹ අපරාධ කොට්ඨාසය වෙත ලැබී තිබිණි.

මූලාශ්‍රය – අරුණ

පුවත්

ලංකාවට නො ආ රට හරක්ට ගෙවූ කෝටි 211 නිලධාරීන්ට ගෙවන්න නියෝගයක්

Published

on

By

ග්‍රාමීය ආර්ථික අමාත්‍යාංශය කිරි ගවයන් 15000ක් ආනයනය කිරීමට අදාළව ගෙවන ලද කෝටි 211 ක  මුදලක් අය කරගැනීමට කටයුතු නොකිරීම හේතුවෙන් සිදුවූ පාඩුව එම කටයුත්තට දායක වූ සියලු බලධාරීන්ගෙන් අය කරගැනීමට කටයුතු කරන ලෙස  ජාතික විගණන කාර්යාලය නිර්දේශ කර ඇත.

විගණන ප්‍රධානීන් එම නිර්දේශය කර ඇත්තේ කිරි ගවයන් ආනයනය කිරීමේදී සිදුවී ඇතැයි පැවසෙන දූෂණ වංචා සහ අක්‍රමිකතා පිළිබඳව සොයා බැලීමට කෙරුණු විගණනයට අදාල විශේෂ විගණන වාර්තාවෙනි.

මෙම පාඩුව සඳහා දායක වූ සියලු දෙනාටම දැඩි නීතිමය හා විනය ක්‍රියාමාර්ග ගත යුතු බවටද විගණන ප්‍රධානීන් නිර්දේශ කර ඇත.

කිරි ගවයන් ආනයනයට පෙර ගෙවන ලද රුපියල් කෝටි 175 කට ආසන්න අත්තිකාරම් මුදල සහ ණය මුදලින් කොටසක් සහ  ඊට අදාල පොලිය මෙම මූල්‍ය පාඩුවට  ඇතුළත් වන බව ජාතික විගණන කාර්යාලය පවසයි.

මූලික කාර්යභාරය  ඉටුකිරීමෙන් තොරව සහ විගණන අංශ ලබා දී තිබූ  නිර්දේශ නොතකා හරිමින්  කිරි ගවයන් ආනයනයට මෙසේ අත්තිකාරම් මුදල් නිදහස් කර තිබූ බවත්  එම මුදල් පසුගිය වසරේ දෙසැම්බර් මස 31 වැනිදා වන විටද අය කරගෙන නොතිබූ බවත් වාර්තාවේ දැක්වේ.

කිරි ගවයන් නොගෙන්වා මෙපමණ ඵලදායි නොවන වියදමක් දරා තිබියදී කිරි ගොවීන්ට සහන සැලසීම සඳහා හදිසි අවස්ථා අරමුදලින් රුපියල් කෝටි තිහක් වෙන් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය අපේක්ෂා කර තිබූ බවද විශේෂ විගණන වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

(ලංකාදීප)

Continue Reading

පුවත්

ලංකාව දුන් පොරොන්දු ඉටුකරනවාදැයි බලන්න IMF දෙවැනියා ලංකාවට

Published

on

By

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලයේ මීළඟ රැස්වීමට පෙර විදුලිය මිල වැඩි කිරීම ඇතුළු ශ්‍රී ලංකා ආණ්ඩුව පොරොන්දු වූ ගිවිසුමේ කරුණු ඉටුවේදැයි දැනගැනීම පිණිස විශේෂ සාකච්ඡාවක් සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ, ගීතා ගෝපිනාත් මහත්මිය සහ ආසියානු කලාපීය අධ්‍යක්ෂ ක්‍රිෂ් සිරිනිවාසන් මහතා ලබන සතියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. 

ගෝපිනාත් මහත්මිය මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරියට පමණක් දෙවැනි වන ප්‍රධාන නිලධාරිනියයි.

මෙම ඉහළ පෙළේ දූත පිරිස ශ්‍රී ලංකා මහ බැංකුව සහ ජනාධිපතිවරයා සමඟ විශේෂ සාකච්ඡා වට දෙකකට සහභාගි වනු ඇතැයි දැනගන්නට තිබේ.

විදුලිය මිල සූත්‍රයක් ක්‍රියාත්මක කිරීම ඇතුළු මීට පෙර ඇති කරගත් කාර්ය මණ්ඩල එකඟතා ඉටුකිරීම සම්බන්ධව මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ මතය දැනගැනීම ඔවුන්ගේ ශ්‍රී ලංකා සංචාරයේ ප්‍රධාන අරමුණ බවද සඳහන්ය.

(දේශය)

Continue Reading

පුවත්

නියාමනයට පෙර ප්‍රවාහන සංගම් රජයෙන් සාකච්ඡාවක් ඉල්ලයි

Published

on

By

පෞද්ගලික බස් රථ, ත්‍රිරෝද රථ හා පාසල් සිසුන් ප්‍රවාහන රථ නියාමනයට පෙර පවතින ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡාවක් ලබාදෙන ලෙස ප්‍රවාහන සංගම් රජයෙන් ඉල්ලිමක් කර තිබේ.

සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමයයේ සභාපති මල්ශ්‍රී ද සිල්වා මහතා සඳහන් කළේ රජය විසින් ඊට අවශ්‍ය ක්‍රියාමාර්ග නොගන්නේ නම් වෘත්තීය ක්‍රියාමාර්ග සඳහා යොමුවන බවය.

පෞද්ගලික බස් රථ, ත්‍රිරෝද රථ, පාසල් සිසුන් ප්‍රවාහන රථ ඇතුළු ප්‍රවාහන මාදිලි රැසක් නියාමනයට අවශ්‍ය පියවර ගන්නා අතර ජාතික ගමනාගමන කොමිෂන් සභාවට මේ සඳහා සියළු බලතල පැවරීමට පියවර ගන්නා බවද ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදු කර තිබිණි.

ඒ අනුව ජාතික ගමනාගමන කොමිෂන් සභා සංශෝධන පනත් කෙටුම්පත පසුගියදා පාර්ලිමේන්තුවේදි සම්මත වු අතර පෞද්ගලික බස් රථ, ත්‍රිරෝද රථ, පාසල් සිසුන් ප්‍රවාහන රථ ඇතුළු ප්‍රවාහන මාදිලි රැසක් නියාමනයට අවශ්‍ය ගැසට් පත්‍රයද නිකුත් කළ බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පැවසීය.

සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමයයේ සභාපති මල්ශ්‍රී ද සිල්වා මහතා මේ  සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළේය.

“නියාමනයට කලින් බොහෝ දේවල් තියනවා කරන්න. හැම වතාවෙම මේක කරන්න හැදුවා. ඒත් අපිට කිසිදෙයක් වෙන්නෙ නැතුව රජයට ආදායමක් ලබා ගන්න දෙයක් විතරයි වෙන්නෙ. අපි ඒ දේවල්වලට කැමති නෑ. අපි කියන්නෙ මේක නියාමනය කරනව නම් අපේ ප්‍රශ්න සාධාරණව අහලා ඒවට අවශ්‍ය දේවල් කරලා බලලා අපිත් එක්ක කතා කරලා ඉවරවෙලා මේ දේවල් කරොත් හොදයි කියලා හිතනවා.නියාමනයෙන් හොඳ දෙයක් වෙන්න ඕනා. නියාමනය කියලා මුදලක් අරගෙන අපිට කිසිදෙයක් වෙන්නෙ නැත්තම් වැඩක් නැහැ. හොද විදිහට කරනවා නම් අපි බලනවා. එහෙම නැත්තම් අපිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට යන්න වෙනවා.”

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved