පුවත්

කදිරානවත්තේ සෙල්වරාණි කුණු ඇළට පැන ජල්ලියක් අල්ලලා

Published

on

හොරයින් මත්කුඩු තොගයක් සන්තකයේ තබාගෙන සිටිය දී පොලිසියට හසු වූ කදිරානවත්තේ අන්නමලේ සෙල්වරාණී සැනෙකින් නිවසින් පිටතට පලා ගොස් සඟවාගෙන සිටි තවත් මත්කුඩු සමඟ කුණු ඇළට පැන පොලිසියට විරෝධය දැක්වූ බව මට්ටක්කුලිය පොලිසිය කියයි.

සැකකාරිය සන්තකයේ තිබී රුපියල් ලක්ෂ පහකට අධික වටිනා මත්කුඩු ග්‍රෑම් 12ක් පොලිස් භාරයට ගෙන ඇත. 

මට්ටක්කුලිය පොලිසියට අනුයුක්ත පොලිස් විශේෂ කාර්යාංශයේ නිලධාරීන්ට යුක්තියේ මෙහෙයුමට සමඟාමීව ලද තොරතුරකට අනුව සැකකාරියගේ නිවස වටලා පොලිස් කාන්තාවක් ලවා සැකකාරිය පරික්ෂා කිරීමේ දී තන පටය තුළ සඟවාගෙන තිබූ මත්කුඩු සොයාගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.

පොලිස් කාන්තාව තවදුරටත් සැකකාරිය පරික්ෂා කිරීමට සූදානම් වීමේ දී ක්ෂණයකින් මුළුතැන් ගෙයි දෙසින් පොලිස් නිලධාරීන් අතරින් පලා ගිය සැකකාරිය කුණු ඇළට පැන තම සන්තකයේ තිබූ මත්කුඩු විසිකළ බව පවසමින් පොලිස් නිලධාරීන්ට සිය විරෝධය පළ කරමින් විනාඩි දහයකට ආසන්න කාලයක් ඇළ තුළ ඒ මේ අත ඇවිදිමින් සිට ගොඩ ආ බව පොලිසිය සඳහන් කරයි.

අනතුරුව තවත් අමතර පොලිස් කණ්ඩායමක් එම ස්ථානයට ගෙන්වා සැකකාරිය දැඩි වෙහෙසක් දරා අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බව පොලිස් නිලධාරියකු පැවැසීය. 

45 හැවිරිදි සැකකාරිය මීට පෙර අවස්ථා ගණනාවක දී මත්ද්‍රව්‍ය සමඟ පොලිස් අත්අඩංගුවට පත් වූ තැනැත්තියක් බව පොලිසිය කියයි.

(දිනමිණ)

Trending

Exit mobile version