පුවත්

කඳුළු ගෑස් ගැන වාර්තාවක් සති 2කදී දෙන්නැයි අධිකරණයෙන් නියෝග

Published

on

කොළඹ දී පැවැති විරෝධතා මැඬලීමට භාවිත කරන ලද කඳුළු ගෑස් උණ්ඩ සහ ඒවා භාවිත කරන ලද ආකාරය සම්බන්ධයෙන් සති 02 ක් ඇතුළත වාර්තාවක් දෙන ලෙස අධිකරණය, මහජන සාමය, කළමනාකරණ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාට ඊයේ (13) නියෝග කළේය.

ජාතික ජන බලවේගය ඉකුත් පෙබරවාරි 26 වැනිදා කොළඹ දී පැවැත් වූ විරෝධතාවට සහභාගි වූ එම පක්ෂයේ නිවිතිගල ප්‍රාදේශීය සභා අපේක්ෂක නිමල් අමරසිරිගේ මරණය වීමට පොලිසිය එල්ල කරන ලද කඳුළු ගෑස් හේතුවක් විය හැකි බවට මියගිය අයගේ පාර්ශ්වය කරනු ලැබූ චෝදනා සැලකිල්ලට ගෙන කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ එලෙස නියෝග කළේය.

නිමල් අමරසිරිගේ මරණය සම්බන්ධයෙන් වූ මහෙස්ත්‍රාත් පරීක්ෂණය ඊයේ පැවැති අතර එහි දී මියගිය තැනැත්තාගේ පුතා වන චාමර අමරසිරි සාක්ෂි දුන්නේය.

තමාගේ පියාගේ මරණය පිළිබඳ සැකයක් නොමැති වුවත් එම මරණය පොලිසිය එල්ල කරන ලද කඳුළු ගෑස් ප්‍රහාරය හේතුවෙන් ඇති වූ බලපෑම මත සිදුවන්නට ඇති බවට තමා සැකකරන බවත් චාමර අමරසිරි මහෙස්ත්‍රාත් පරීක්ෂණයේදී සාක්ෂි දෙමින් පැවසීය.

(අරුණ)

Trending

Exit mobile version