Connect with us

පුවත්

කලම්බු ඩොක්යාර්ඩ් එක Mazagon Doc මිලදී ගැනීමත් සමඟ චීනය ලංකාවෙන් ඈත් වෙයි?

Published

on

වසර 2023 සිට චීනය ක්‍රමයෙන් ශ්‍රී ලංකාවෙන් ඈත් වෙන ආකාරයක් දක්නට ලැබෙන බවත්,  ඉන්දියානු රජයට අයත් Mazagon Dock නෞකා ඉදිකිරීමේ සමාගම විසින් මෙරට නෞකා ඉදිකිරීම් සමාගමක් වන කලම්බු ඩොක්යාර්ඩ් PLC සමාගමේ බහුතර කොටස් මිලදී ගැනීමත් සමඟ එය තවත් ඉක්මන් වන ආකාරයක් නිරීක්ෂණය වන්නේ යැයි ජාත්‍යන්තර සබඳතා පර්යේෂක සහ උපදේශක ආචාර්ය හසිත් කන්දඋඩහේවා මහතා කියයි.

ඒ මහතා බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් මේ බව පවසා තිබේ.

කලම්බු ඩොක්යාර්ඩ් සමාගමට නෞකා ඉදිකිරීම සඳහා ජාත්‍යන්තර පිළිගැනීමක් තිබීම නිසා ඉන්දියාවට මෙය උපායමාර්ගිකව වැදගත් එකක් වන බවක් පෙනී යන බව ද ඔහු එහිදී පවසා ඇත.

කන්දඋඩහේවා මහතා වැඩිදුරටත් මෙසේ ද පවසා තිබේ.

”මේක ඇත්තට ම වැදගත් වෙන්න ඉකුත් මැයි මාසයේදී ඉන්දියාවේ කේරළවලදී අගමැති නරේන්ද්‍ර මෝදී විවෘත කරපු විලින්ජම් ජාත්‍යන්තර ජල බහුකාර්ය වරායත් එක්ක බැලුව ම ලංකාවට හොඳ පිළිගැනීමක් තියෙනවා නෞකා තැනීම ගැන. විශේෂයෙන් ම නාවික සේවාවන් සැපයීම ගැන ඩොක්යාර්ඩ් සමාගමට ජාත්‍යන්තරව පිළිගැනීමක් තියෙනවා.”

”එතකොට මේ මෑතකදී විවෘත කරපු විලින්ජම් වරාය යි ඉන්දියාව බහුතර කොටස් හිමිකම් කියන්න යන කලම්බු ඩොක්යාර්ඩ් සමාගම යි දිහා බැලුව ම අපිට පැහැදිලිව ම පෙනෙන දෙයක් තමයි එයාලා ඉන්දු – පැසිෆික් කලාපයේ ඉන්දියාව එයාලගේ වරායන් ඉදිකරන එක කරගෙන යනවා. ඒකෙන් එයාලට හැකියාව උදාවෙනවා ඉන්දීය සාගර කලාපය තුළ උපායමාර්ගික හැකියාව වර්ධනය කර ගන්න.”

”අනිත් කරුණ තමයි හම්බන්තොට වරාය 99 අවුරුදු බදු ක්‍රමයට චීනය තියාගෙන ඉන්නවා. එතකොට ඉන්දියාව හදනවා ශ්‍රී ලංකාවේ එයාලගේ ආධිපත්‍යය පෙන්වන්න. කලම්බු ඩොක්යාර්ඩ් සමාගමේ බහුතර කොටස් ඉන්දියාව මිල දී ගැනීම හරහා චීනයට යම් ආකාරයේ අභියෝගයක් එල්ල කරනවා කියලා පෙන්වන්න ඉන්දියාව උත්සහ දරමින් ඉන්නවා. මොක ද එක ම රටක වඩාත් වැදගත් ස්ථාන දෙකකට මේ රටවල් දෙක හිමිකම් කියන නිසා. ඒ වගේ ම 2023 ඉදලා චීනය ක්‍රමයෙන් ශ්‍රී ලංකාවෙන් ඈත් වෙන ආකාරයක් අපිට දකින්න ලැබෙනවා. මේ ගනුදෙනුව තුළ ඒක තවතවත් ඉක්මන් කරවන ආකාරයක් නිරීක්ෂණය වෙනවා.”

“දීර්ඝ කාලීනව බැලුව ම ඉන්දියාව ලංකාව තුළ පුනර්ජනනීය බලශක්ති වැඩසටහන්වලට ආයෝජනය කරනවා. මේ හරහා ඉන්දියාවට ලොකු ලාභයක් නොලැබුණත් ඉන්දියාව උත්සහ කරනවා එයාලගේ ළඟ ම අසල්වැසියා ලෙසට ශ්‍රී ලංකාව තමන්ගේ ම ළඟින් තියා ගන්න.”


ඉන්දියානු රජයට අයත් Mazagon Dock නෞකා ඉදිකිරීමේ සමාගම විසින් මෙරට නෞකා ඉදිකිරීම් සමාගමක් වන කලම්බු ඩොක්යාර්ඩ් PLC සමාගමේ බහුතර කොටස් මිල දී ගනු ලැබීමට එකඟ වී ඇති බව  කොළඹ කොටස් හුවමාරුව මේවන විට තහවුරු කර තිබේ.

කලම්බු ඩොක්යාර්ඩ් PLC සමාගමේ කොටස්වලින් 51%ක කොටස් මෙම ඉන්දීය සමාගම විසින් මිල දී ගැනීමට නියමිතව ඇති අතර ඉදිරි මාස 06ක කාලය තුළදී අදාළ ගනුදෙනුව සම්පූර්ණ වනු ඇත. 

එහි සමස්ත වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 52.96ක් වනු ඇත.

මේ වන විට කලම්බු ඩොක්යාර්ඩ් PLC සමාගමේ 51%ක කොටස් හිමි ජපානයේ සීමාසහිත ඔනොමිචි ඩොක්යාර්ඩ් සමාගම විසින් මෙලෙස තමන්ට අයත් 51%ක කොටස් ඉන්දියානු රජයට අයත් Mazagon Dock නෞකා ඉදිකිරීමේ සමාගම වෙත විකිණීමට නියමිත බව සඳහන් වෙයි.

2024 වසරට අදාළව කලම්බු ඩොක්යාර්ඩ් සමාගම නිකුත් කර ඇති වාර්ෂික වාර්තාවට අනුව එහි 51%ක කොටස් අයිතිය හිමිව ඇත්තේ, ජපානයේ සීමාසහිත ඔනොමිචි ඩොක්යාර්ඩ් සමාගමට ය.

මීට අමතරව, සේවක අර්ථ සාධක අරමුදලට 16.34%ක්, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව – සාමාන්‍ය රක්ෂණ අරමුදලට 5%ක්, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව – ජීවිත රක්ෂණ අරමුදල ට4.92%ක්, ශ්‍රී ලංකා වරාය අධිකාරියට 3.04%, සේවක භාරකාර අරමුදල් මණ්ඩලයට 2.42%, ලංකා බැංකුවට 1.11% ලෙස කොළඹ ඩොක්යාර්ඩ් සමාගමේ ප්‍රධාන කොටස්වල හිමිකාරිත්වය පැවරී ඇත.

කලම්බු ඩොක්යාර්ඩ් PLC සමාගමේ වැඩි ම කොටස් හිමිකරුවා බවට පත්වීමට සූදානම් වන Mazagon Dock නෞකා ඉදිකිරීමේ සමාගම ඉන්දීය රජයට අයත් සමාගමකි.

එය 1934 දී පෞද්ගලික සීමිත සමාගමක් ලෙස සංස්ථාගත කර තිබෙන අතර, 1960 දී ඉන්දීය රජය Mazagon Dock ෂිප්බිල්ඩර්ස් ලිමිටඩ් සමාගමේ හිමිකාරිත්වය ලබාගෙන ඇත.

ඉන්දීය රජය එහි හිමිකාරිත්වය ලබා ගැනීමෙන් අනතුරුව ඉන්දීය නාවික හමුදාවේ ප්‍රමුඛතම යුද නෞකා තැනීමේ සමාගම බවට ඔවුන් පත්ව තිබේ.

1960 වසරේ සිට මේ දක්වා Mazagon Dock නෞකා ඉදිකිරීමේ සමාගම නෞකා 805ක් ඉදිකර ඇත. 

එමෙන් ම, එම සමාගම විසින් යුද්ධ නෞකා, මිසයිල රැගත් ප්‍රහාරක යාත්‍රා 30ක් සහ සබ්මැරීන් 08ක් ද ඉදිකරනු ලැබ ඇති බව එම සමාගම පවසයි.

ඉන්දියාවට අමතරව විදේශ රටවල සිටින විවිධ ගනුදෙනුකරුවන් සඳහා භාණ්ඩ ප්‍රවාහන නැව්, මගී නැව්, සැපයුම් යාත්‍රා, බහුකාර්ය ආධාරක යාත්‍රා, ජල ටැංකි, ටග් යාත්‍රා, ධීවර ට්‍රෝලර් යාත්‍රා සහ බාර්ජ් යාත්‍රා ආදිය මෙම සමාගම විසින් ඉදිකරනු ලැබ තිබේ.

මූලාශ්‍රය – බීබීසී සිංහල සේවය

පුවත්

කොටස් වෙළෙඳපොළෙන් නව වාර්තාවක්

Published

on

By

කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ සියලු කොටස් මිල දර්ශකය මෙතෙක් ඉතිහාසයේ වාර්තා කරන ලද ඉහළම අගය ඊයේ (09) දිනයේ දී සනිටුහන් වූ අතර එහිදී දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 18,161.49 ක් දක්වා ඉහළ ගොස් තිබුණි.

මෙය පූර්ව ගනුදෙනු දිනයට සාපේකේෂව ඒකක 129.37ක ඉහළ යාමකි.

එහි දී සමාගම් 125ක කොටස් මිල ගණන් ඉහළ ගිය අතර එය සියලු කොටස් මිල දර්ශකයේ හැසිරීමට ඉහළ ධනාත්මක දායකත්වයක් ලබා දී තිබුණි.

අද (10) ගනුදෙනු පිරිවැටුම දැක්වුනේ රුපියල් බිලියන 5.98 ක් ලෙසය.

Continue Reading

පුවත්

ජුලි මාසයේ පළමු දින 6 දී සංචාරකයන් 36000ක් දිවයිනට

Published

on

By

2025 ජුලි මාසයේ පළමු දින 06 තුළ පමණක් 36,000 ඉක්මවු සංචාරකයන් පිරිසක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

ඒ අනුව මෙම වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ථ සංචාරකයින් සංඛ්‍යාව 1,204,046ක් කි.

ගෙවුනු 2024 වසරේ සංචාරකයන් ලක්ෂ 12 ඉක්මවා ඇත්තේ අගෝස්තු මාසයේදිය.

ජූලි මාසයේ පළමු දින 6 තුළ වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එම සංඛ්‍යාව  8,053කි.

දෙවනුවට එක්සත් රාජධානියෙන් සංචාරකයින් 3,562ක්, ඕස්ට්‍රේලියාවෙන් 2,674ක් සහ චීනයෙන් 2,362ක්  සංචාරකයින් ලෙස මෙරටට පැමිණ තිබේ.

Continue Reading

පුවත්

ඇමරිකානු තීරුබදු ප්‍රතිපත්තිය පිළිබඳ සාකච්ඡාවක්

Published

on

By

ඇමරිකා එක්සත් ජනපදය විසින් පනවනු ලැබ ඇති නව තීරුබදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ නියෝජිත කණ්ඩායම අතර විශේෂ සාකච්ඡාවක් අද (10) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

මෙම සාකච්ඡාවට, කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් කේ. ඒ. විමලේන්තිරාජා සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව යන මහත්වරු එක්ව සිටියහ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved