Connect with us

පුවත්

කලීඩා ශියා නිදහස්; හසීනා පැනගොස් ඇත්තේ ඉන්දියාව‍ට; වත්මන් තත්ත්වය

Published

on

බංග්ලාදේශ විපක්ෂ නායිකා කලීඩා ෂියා ඇතුළු, සිර දඩුවම් විඳිමින් සිටි එරට විපක්ෂ දේශපාලන ක්‍රියාකාරීන් සියලු දෙනා නිදහස් කිරීමට බංග්ලාදේශ ජනාධිපති මොහොමඩ් ෂහබුදීන් නියෝග කර තිබේ.

බංග්ලාදේශ ජනාධිපති මොහොමඩ් ෂහබුදීන් මෙසේ නියෝග කළේ ශිෂ්‍ය විරෝධතා හමුවේ, බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා, ධුරයෙන් ඉල්ලා අස්වී, රටින් ද පලා යෑමත්, හමුදාව එරට බලය අත්පත් කර ගැනීමත් සමඟය.

බංග්ලාදේශ ජනාධිපති මොහොමඩ් ෂහබුදීන් මෙසේ නියෝග කළේ හමුදාපති ජනරාල් වකාර් උස් සමාන්, නාවික හමුදාපති සහ ගුවන් හමුදාපති සමඟ එක් වී සාකච්ඡා පැවැත්වීමෙන් ද අනතුරුවය. 

මෙම හමුවට බංග්ලාදේශ ජාතික පක්ෂයේ සාමාජිකයන් සහ තවත් විපක්ෂ දේශපාලන පක්ෂයක් වන ජමාත් ඊ ඉස්ලාමී පක්ෂයේ සාමාජිකයන් ද එක් වී සිටි බව පැවැසෙයි. ෂෙයික් හසීනාගේ පලා යෑමෙන් පසු අන්තර්වාර රජයක් පිහිටුවීමට පියවර ගන්නා බව හමුදාව පවසා තිබේ.

රටින් පලා ගිය හසීනා ඉන්දියාවේ….

මේ අතර, රටින් පලා ගිය ෂෙයික් හසීනා, ඉන්දීය රජයේ අනුග්‍රහය යටතේ, තවමත් ඉන්දියාවේ රැඳී සිටින බව වාර්තා වේ.

ෂෙයික් හසීනා, උත්සාහ ගත්තේ, දේශපාලන රැකවරණ යටතේ, එක්සත් රාජධානිය බලා යෑමටය. ඒ සඳහා අවස්ථාව ලැබෙන තුරු හසීනා ඉන්දියාවේ රැඳී සිටින බව ද පැවැසෙයි. 

විරෝධතා හමුවේ ෂෙයික් හසීනා බංග්ලාදේශයෙන් පලා ගියේ සොහොයුරිය රෙහානා සමඟය. රෙහානා බ්‍රිතාන්‍ය පුරවැසියෙකි. 

“මාර්ච් ටු ඩකා”….

බංග්ලාදේශ සරසවි සිසුන් ගෙවුණු ජූලි මාසයේ දී දැවැන්ත විරෝධතාවක් ආරම්භ කළේ රජයේ රැකියා කෝටා ක්‍රමවේදයට විරෝධය පළකරමිනි.

ඩකා අගනුවර කේන්ද්‍ර කරගෙන රට පුරා පැතිර ගිය එම විරෝධතා අතරතුරදී 300කට ආසන්න පිරිසක් මරණයට පත්වුණි.

අර්බුදයට තුඩුදුන් රැකියා කෝටා ක්‍රමවේදය අවලංගු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේ විරෝධතා පාලනයට රජය අනුගමනය කළ එම දැඩි මර්දනකාරී පිළිවෙතට ජාත්‍යන්තරයෙන් පවා එල්ලවූ විවේචන හමුවේ ය.

නමුත් ඉන් නොනැවතුණු ශිෂ්‍ය ක්‍රියාකාරීන් රැකියා කෝටාවට එරෙහි විරෝධතාව රජයට එරෙහි දැවැන්ත විරෝධතාවක් බවට පරිවර්තනය කරමින් යළි උද්ඝෝෂණ ආරම්භ කළේ මීට දින කිහිපයකට පෙරාතුවය.

ඒ, පෙර විරෝධතා අතරතුර මියගිය පිරිසට යුක්තිය ඉටුකර ධුරයෙන් ඉවත්වන්නැයි අගමැතිනි ෂෙයික් හසීනාට බල කරමිනි.

නගර රැසක දී ශිෂ්‍ය ක්‍රියාකාරීන් මෙවර විරෝධතාවේ නිරත වූයේ එරට ප්‍රධාන විපක්ෂය වන බංග්ලාදේශ ජාතික පක්ෂයේ ද සහාය ඇතිව ය.

ගෙවුණු දෙසතිය තුළ පමණක් අත්අඩංගුවට ගෙන ඇති විරෝධතාකරුවන් ගණන 10,000ක් පමණ බව විදෙස් මාධ්‍යවල සඳහන්ය.

රටපුරා නොසන්සුන් තත්ත්වය සැලකිල්ලට ගෙන පෙරේදා පස්වරුවේ සිට දින නියමයක් නොමැතිව රටපුරා ක්‍රියාත්මක වන පරිදි ඇඳිරිනීතිය පැනවීමටත් අන්තර්ජාල සබඳතා අවලංගු කිරීමටත් රජය පියවර ගත්තේය.

ඇඳිරිනීතිය මැද ශිෂ්‍ය ක්‍රියාකාරීන් රජයට එරෙහිව ඊයේත් දැවැන්ත විරෝධතා පා ගමනක් පැවැත්වූයේ “මාර්ච් ටු ඩකා” නමිනි.

එය විසුරුවා හැරීමට පොලීසිය කඳුළු ගෑස් සහ රබර් උණ්ඩ ප්‍රහාර එල්ල කළත් අතිශය ප්‍රචණ්ඩකාරී විරෝධතාකරුවන් පාලනයට ආරක්ෂක අංශ සමත් වුණේ නැත.

පසුව විරෝධතාකරුවන් ඩකා අගනුවර අගමැති නිල නිවසට කඩා වැදුණි.

ඔවුන් එහි කඩා වදින විටත් අගමැතිනිය ආරක්ෂිත ස්ථානයක් වෙත නික්ම ගොස් තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

අගමැති නිල නිවස පරිශ්‍රයේ පිහිටා ඇති ශෙයික් මුජිබර් රහුමාන් පිළිරුව විරෝධතාකරුවන් විසින් බිඳ දැමුවේය.

මුජිබර් රහුමාන් යනු බංග්ලාදේශයේ නිදහසේ පුරෝගාමියා සහ නිදහස් බංග්ලාදේශයේ පළමු ජනාධිපතිවරයා වන අතර ඔහු වත්මන් අගමැතිනි ෂෙයික් හසීනාගේ පියාය.

අගමැති නිල නිවසට කඩාවැදුණු විරෝධතාකරුවන් එහි දේපොළවලට හානි කරමින් හැසිරුණු ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

ඇතැමුන් එහි භාණ්ඩ සොරකම් කළ බවත් විදෙස් මාධ්‍යවල සඳහන් වුණි.

විරෝධතාකරුවන් ඩකා අගනුවර පාර්ලිමේන්තු ගොඩනැගිල්ලටද කඩාවැදී තිබුණි.

දේශපාලන විචාරකයින් මත පළ කර තිබුණේ ලේ වැගිරීමකින් තොරව ෂෙයික් හසීනා කිසිවිටෙකත් සිය ධුරයෙන් ඉවත් නොවන බවටය.

ෂෙයික් හසීනා බංග්ලාදේශ අගමැති ධුරයට පත්වුණේ 2009 වසරේදීය.

ඇයගේ වසර 15ක පාලනය තුළ එරට ආර්ථිකය වේගවත්ව වර්ධනය වූ බව වාර්තාවලින් පෙනීගියත් ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට චෝදනා එල්ලවුණි.

අඛණ්ඩව සිව්වන වරටත් මේ වසරේ ඇය අගමැති ධුරයට පත්වුවද මැතිවරණ ප්‍රතිඵල දූෂිත බව එල්ලවූ ප්‍රසිද්ධ චෝදනාවකි.

15 වසරක පාලන කාලය තුළ ඇය මුහුණදුන් මෙම දැවැන්තම විරෝධතාව නිර්මාණය වන්නේ එවැනි තත්ත්වයක් හේතුවෙනි.

විරෝධතා මැද අගමැතිනිය පළායද්දී හසීනා රජයේ ඉහළ නිලධාරීන් රැසක් ද අද රටින් පිටවගොස් තිබුණි.

පසුව බංග්ලාදේශයේ පාලනය භාරගත් එරට හමුදා නායකයා ජාතිය අමතමින් කියාසිටියේ කඩිනමින් අන්තර්වාර පාලනයක් පිහිටුවන බවය.

“අගමැතිනි ෂෙයික් හසීනා සිය ධුරයෙන් ඉල්ලා අස්වුණා. මම සියලුම පක්ෂවල දේශපාලන නායකයින්ට සාකච්ඡා සඳහා ආරාධනා කළා. අපි අන්තර්වාර රජයක් පිහිටුවීමට තීරණය කළා. ඒ අනුව රට ඉදිරියේ දී පාලනය වන්නේ අන්තර්වාර රජයක් යටතේයි.”

මේ අතර ෂෙයික් හසීනාගේ අනාගත සැලසුම් ගැන අදහස් දක්වමින් ඇයගේ පුත්‍රයා සඳහන් කර ඇත්තේ, සිය මව නැවත වරක් දේශපාලනය නොකිරීමට ඉඩඇති බවය.

හසීනාගේ ප්‍රධාන උපදේශකයා ලෙස කටයුතු කළ ඔහු බීබීසී පුවත් සේවය සමග ඒ බව පවසා තිබුණි.

පුවත්

ප්‍රදේශ කිහිපයකට වැසි 

Published

on

By

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.

යාපනය සහ මන්නාරම දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.

Continue Reading

පුවත්

IMF ණය පහසුකමේ 4 වැනි සමාලෝචනයට විධායක මණ්ඩලයේ අනුමැතිය

Published

on

By

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාව සඳහා වන මාස 48ක විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) විධිවිධානය යටතේ සිව්වන සමාලෝචනය ඊයේ (01) දින සම්පූර්ණ කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාවට වි.ගැ.හි. මිලියන 254ක්, එනම් එක්සත් ජනපද ඩොලර් මිලියන 350ක් පමණ වෙනුවෙන් ප්‍රවේශය හිමිවන අතර මේ දක්වා මෙම විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන යටතේ ලබා දී ඇති මුළු මූල්‍යාධාර ප්‍රමාණය ඩොලර් බිලියන 1.74ක් දක්වා ඉහළ යනු ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී එවන් පැපජෝජියෝ මහතා විසින් මේ බව නිවේදනය කර සිටී.

Continue Reading

පුවත්

රනිල් දේශපාලනයට වඩා රට ගැන හිතුවා – හිටපු මුදල් ලේකම්

Published

on

By

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලනයට වඩා රට ගැන සිතා කටයුතු කළ බවත්, ඔහු ගත් දැඩි තීන්දු නිසා රටේ ප්‍රගතිය ඉදිරියට කරගෙන යාමට හැකිවූ බවත් මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් මහින්ද සිරිවර්ධන මහතා කියයි.

දෙරණ 360 වැඩසටහනට සහභාගිවෙමින් ඔහු මේ බව කියා සිටියේය.

තමාට ගෝඨාභය රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ සහ අනුර කුමාර දිසානායක යන ජනාධිපතිවරුන් තිදෙනාගෙන් විශිෂ්ට සහයෝගයක් ලැබුණු බවද ඔහු පැවැසීය.

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා තමා විශ්වාස කර මුදල් අමාත්‍යාංශයේ ලේකම් ධුරය සඳහා පත්කළ බවත්, අප්‍රසිද්ධ චරිතයක්ව සිටි තමා එම තනතුරට පත් කිරීම පිළිබඳව හිටපු ජනාධිපතිවරයාට තමා ස්තූතිවන්ත බව බවත් ඔහු කීවේය.

රටේ බැරෑරුම් තත්ත්වයක් තිබියදී දේශපාලන නායකත්වය ලබා දුන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා බවත්, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සමග සේවය කිරීමේදී ඉතා විශිෂ්ට අත්දැකීම් තමාට ලබා ගැනීමට හැකිවූ බවත්, තීරණ ගැනීම සේම නායකත්වයේ ගුණාංග තමාට ඔහුගෙන් ඉගෙන ගැනීමට අවස්ථාව ලැබුණු බවත් හිටපු ලේකම්වරයා පැවැසීය.

රටවල් සමග ගනුදෙනු කිරීමේදී, ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැහැදිලි නායකත්වයක් ලබා දුන් බවද ඔහු පැවැසීය.

ආර්ථික කළමනාකරණය කිරීමේ ගමනේදී අඛණ්ඩතාවය රඳවා ගැනීමේදී අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ගත් තීරණවලට තමා ඉතාමත් ගරු කරන බවද හිටපු ලේකම්වරයා පැවැසුවේය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved