Connect with us

පුවත්

කළු ගං පත්ලේ සබ්මැරීනයක් වැනි මැණික් ගරන යන්ත්‍රයක්

Published

on

රත්නපුර ඓතිහාසික මහ සමන් දේවාලය ආසන්නයේ කළු ගඟේ මැණික් පතල් සහ වැලි කැණීම් තහනම් කර ඇති කලාපය තුළ මැණික් ගැරීමට භාවිත කළ සබ්මැරිනයක ආකාරයෙන් පත්ලේ මෙන් ම ගොඩබිම ද ගමන් කළ හැකි නව නිර්මාණාත්මක යන්ත්‍රයක් අත්අඩංගුවට ගැනීමට රත්නපුර පොලිසිය සමත්ව ඇත.

මෙම යන්ත්‍රය භාවිතයෙන් මැණික් ගරමින් සිටි පස් දෙනෙකු ගඟේ පිහිනා පැන ගොස් ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට මේ වනවිට විමර්ශන ආරම්භ වී ඇත.

ඓතිහාසික සබරගමු මහ සමන් දේවාලය ආසන්නයෙන් ගලා බසිනා කළු ගඟේ වැලි ගොඩ දැමීම, අනවසර පතල් කැපීම තහනම් කලාපයක් කර ඇත.

එම කලාපය තුළ නවීන තාක්ෂණයෙන් නව නිර්මාණයක් ලෙස ඝනකම යකඩ තහඩු උපයෝගී කර ගනිමින් තැනූ බෝට්ටුවක් භාවිත කරමින් කළු ගං පතුලේ මැණික් ඉල්ලම් ගනිමින් තිබූ දිය ගොඩ දෙකේ ම ගමන් කළ හැකි බෝට්ටුව පොලිස් නිලධාරීන් පැන අත්අඩංගුවට ගනිද්දී මැණික් ජාවාරම් කළ පුද්ගලයන් ගඟේ පිහිනා පැන ගොස් තිබේ.

දිගු කාලයක සිට රාත්‍රී කාලයේදී මෙම ජාවාරම සිදුවෙමින් පැවැති බව ගම්වාසීන් මෙන් ම පොලිසිය ද පැවැසූ අතර, මෙම බෝට්ටුව තැනින් තැනට ගමන් කළ හැකි ජංගම සකර් යන්ත්‍රයක් ලෙස හඳුනා ගෙන ඇත.

මෙම යකඩ බෝට්ටුව ඇතුළේ අධිබලැති එන්ජිමක් සවිකර එය නොපෙනෙන ලෙසට යකඩ තහඩුවලින් ආවරණය කර තිබූ අතර, බැලූ බැල්මට මෙම යකඩ බෝට්ටුව පසුගිය එල්ටීටීඊ යුද සමයේ කොටි සාමාජිකයන් විසින් තැනූ සබ්මැරීනයකට සමානව නිර්මාණය කර ඇති බව ද මෙවැනි යන්ත්‍රයක් පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තේ, ප්‍රථම වතාවට බව ද වැටලීමට එක් වූ පොලිස් නිලධාරීහු පැවැසූහ.

මෙම බෝට්ටුවේ සවිකර තිබෙන යන්ත්‍රය මගින් පැයක් ඇතුළත බෝට්ටු දෙකක් පිරෙන්න ඉල්ලම් ගං පතුලෙන් ලබා ගන්නා බව අනාවරණය වූ අතර මෙය වෙනත් සකර් මැෂින් මෙන් නොව කළු ගඟේ තැනින් තැනට ගමන් කළ හැකි යන්ත්‍රයක් වන අතර, හදිසි අවස්ථාවක සුදුසු ස්ථානයකින් ගොඩට ගෙන පාරේ ගමන් කරවීම සඳහා රෝද ද සවිකර ඇති අයුරු දක්නට ඇත.

සබරගමුව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතාගේ නියෝගයකට අනුව, රත්නපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක කමල් අබේසිරි මහතාගේ උපදෙස් මත මෙම වැටලීම සිදුකරනු ලැබුවේ ගොඩකවෙල, ඇඹිලිපිටිය, සූරියකන්ද, කොළොන්න සහ රත්නපුර යන පොලිසිවලින් සමන් දේවාලයේ පොලිස් මුරපොළ වෙත විශේෂ රාජකාරී සඳහා අනුයුක්ත කර තිබෙන පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසිනි.

මෙම වැටලීම ඉකුත් 3 වන දින රාත්‍රී කාලයේ සිදුකරන අවස්ථාවේ සමන් දේවාලය පිටුපසින් කළු ගඟ හරහා ඉදිකර තිබෙන වැල් පාලම ආසන්නයේ පාලම ද අනතුරේ හෙළමින් ඉල්ලම් ගොඩ අදිමින් සිට ඇත.

පොලිසිය මෙම වැටලීම සිදුකරද්දී සැකකරුවන් ගඟේ කිමිඳී පළා ගොස් ඇති අතර ලක්ෂ ගණනාවක් වටිනා එම යන්ත්‍රය පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

අධික බරකින් යුත් මෙම යන්ත්‍රය ගඟෙන් ගොඩ ගැනීම සඳහා පහසු ස්ථානයක් සොයා ගඟ පහළට ගෙන යෑමට සිදුවූ අතර එය ගඟෙන් ගොඩ ගැනීමට ‍දොඹකරයක් භාවිත කරමින් විශාල වෙහෙසක් දැරීමට පොලිසියට සිදු විය.

ගමේ තරුණ පිරිස් ද ඊට සහාය වී ඇති අතර දොඹකරේ යකඩ රැහැනක් ද මෙහි අධික බර නිසා කැඩී යෑමකට ලක්විය.

බෝට්ටුව රත්නපුර පොලිසියට රැගෙන ගිය අතර එය අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇත.

සබරගමුව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතාගේ නියෝගයකට අනුව, රත්නපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක කමල් අබේසිරි මහතාගේ උපදෙස් මත ගොඩකවෙල පොලිසියේ පො.සැ. ධර්මරත්න (50331), සූරියකන්ද පොලිසියේ පො.කො. රුක්ෂාන් (104502) ඇතුළු නිලධාරීහු මෙම වැටලීම සිදු කළහ.

(මව්බිම )

පුවත්

ලංකාවට නො ආ රට හරක්ට ගෙවූ කෝටි 211 නිලධාරීන්ට ගෙවන්න නියෝගයක්

Published

on

By

ග්‍රාමීය ආර්ථික අමාත්‍යාංශය කිරි ගවයන් 15000ක් ආනයනය කිරීමට අදාළව ගෙවන ලද කෝටි 211 ක  මුදලක් අය කරගැනීමට කටයුතු නොකිරීම හේතුවෙන් සිදුවූ පාඩුව එම කටයුත්තට දායක වූ සියලු බලධාරීන්ගෙන් අය කරගැනීමට කටයුතු කරන ලෙස  ජාතික විගණන කාර්යාලය නිර්දේශ කර ඇත.

විගණන ප්‍රධානීන් එම නිර්දේශය කර ඇත්තේ කිරි ගවයන් ආනයනය කිරීමේදී සිදුවී ඇතැයි පැවසෙන දූෂණ වංචා සහ අක්‍රමිකතා පිළිබඳව සොයා බැලීමට කෙරුණු විගණනයට අදාල විශේෂ විගණන වාර්තාවෙනි.

මෙම පාඩුව සඳහා දායක වූ සියලු දෙනාටම දැඩි නීතිමය හා විනය ක්‍රියාමාර්ග ගත යුතු බවටද විගණන ප්‍රධානීන් නිර්දේශ කර ඇත.

කිරි ගවයන් ආනයනයට පෙර ගෙවන ලද රුපියල් කෝටි 175 කට ආසන්න අත්තිකාරම් මුදල සහ ණය මුදලින් කොටසක් සහ  ඊට අදාල පොලිය මෙම මූල්‍ය පාඩුවට  ඇතුළත් වන බව ජාතික විගණන කාර්යාලය පවසයි.

මූලික කාර්යභාරය  ඉටුකිරීමෙන් තොරව සහ විගණන අංශ ලබා දී තිබූ  නිර්දේශ නොතකා හරිමින්  කිරි ගවයන් ආනයනයට මෙසේ අත්තිකාරම් මුදල් නිදහස් කර තිබූ බවත්  එම මුදල් පසුගිය වසරේ දෙසැම්බර් මස 31 වැනිදා වන විටද අය කරගෙන නොතිබූ බවත් වාර්තාවේ දැක්වේ.

කිරි ගවයන් නොගෙන්වා මෙපමණ ඵලදායි නොවන වියදමක් දරා තිබියදී කිරි ගොවීන්ට සහන සැලසීම සඳහා හදිසි අවස්ථා අරමුදලින් රුපියල් කෝටි තිහක් වෙන් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය අපේක්ෂා කර තිබූ බවද විශේෂ විගණන වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

(ලංකාදීප)

Continue Reading

පුවත්

ලංකාව දුන් පොරොන්දු ඉටුකරනවාදැයි බලන්න IMF දෙවැනියා ලංකාවට

Published

on

By

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලයේ මීළඟ රැස්වීමට පෙර විදුලිය මිල වැඩි කිරීම ඇතුළු ශ්‍රී ලංකා ආණ්ඩුව පොරොන්දු වූ ගිවිසුමේ කරුණු ඉටුවේදැයි දැනගැනීම පිණිස විශේෂ සාකච්ඡාවක් සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ, ගීතා ගෝපිනාත් මහත්මිය සහ ආසියානු කලාපීය අධ්‍යක්ෂ ක්‍රිෂ් සිරිනිවාසන් මහතා ලබන සතියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. 

ගෝපිනාත් මහත්මිය මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරියට පමණක් දෙවැනි වන ප්‍රධාන නිලධාරිනියයි.

මෙම ඉහළ පෙළේ දූත පිරිස ශ්‍රී ලංකා මහ බැංකුව සහ ජනාධිපතිවරයා සමඟ විශේෂ සාකච්ඡා වට දෙකකට සහභාගි වනු ඇතැයි දැනගන්නට තිබේ.

විදුලිය මිල සූත්‍රයක් ක්‍රියාත්මක කිරීම ඇතුළු මීට පෙර ඇති කරගත් කාර්ය මණ්ඩල එකඟතා ඉටුකිරීම සම්බන්ධව මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ මතය දැනගැනීම ඔවුන්ගේ ශ්‍රී ලංකා සංචාරයේ ප්‍රධාන අරමුණ බවද සඳහන්ය.

(දේශය)

Continue Reading

පුවත්

නියාමනයට පෙර ප්‍රවාහන සංගම් රජයෙන් සාකච්ඡාවක් ඉල්ලයි

Published

on

By

පෞද්ගලික බස් රථ, ත්‍රිරෝද රථ හා පාසල් සිසුන් ප්‍රවාහන රථ නියාමනයට පෙර පවතින ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡාවක් ලබාදෙන ලෙස ප්‍රවාහන සංගම් රජයෙන් ඉල්ලිමක් කර තිබේ.

සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමයයේ සභාපති මල්ශ්‍රී ද සිල්වා මහතා සඳහන් කළේ රජය විසින් ඊට අවශ්‍ය ක්‍රියාමාර්ග නොගන්නේ නම් වෘත්තීය ක්‍රියාමාර්ග සඳහා යොමුවන බවය.

පෞද්ගලික බස් රථ, ත්‍රිරෝද රථ, පාසල් සිසුන් ප්‍රවාහන රථ ඇතුළු ප්‍රවාහන මාදිලි රැසක් නියාමනයට අවශ්‍ය පියවර ගන්නා අතර ජාතික ගමනාගමන කොමිෂන් සභාවට මේ සඳහා සියළු බලතල පැවරීමට පියවර ගන්නා බවද ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදු කර තිබිණි.

ඒ අනුව ජාතික ගමනාගමන කොමිෂන් සභා සංශෝධන පනත් කෙටුම්පත පසුගියදා පාර්ලිමේන්තුවේදි සම්මත වු අතර පෞද්ගලික බස් රථ, ත්‍රිරෝද රථ, පාසල් සිසුන් ප්‍රවාහන රථ ඇතුළු ප්‍රවාහන මාදිලි රැසක් නියාමනයට අවශ්‍ය ගැසට් පත්‍රයද නිකුත් කළ බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පැවසීය.

සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමයයේ සභාපති මල්ශ්‍රී ද සිල්වා මහතා මේ  සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළේය.

“නියාමනයට කලින් බොහෝ දේවල් තියනවා කරන්න. හැම වතාවෙම මේක කරන්න හැදුවා. ඒත් අපිට කිසිදෙයක් වෙන්නෙ නැතුව රජයට ආදායමක් ලබා ගන්න දෙයක් විතරයි වෙන්නෙ. අපි ඒ දේවල්වලට කැමති නෑ. අපි කියන්නෙ මේක නියාමනය කරනව නම් අපේ ප්‍රශ්න සාධාරණව අහලා ඒවට අවශ්‍ය දේවල් කරලා බලලා අපිත් එක්ක කතා කරලා ඉවරවෙලා මේ දේවල් කරොත් හොදයි කියලා හිතනවා.නියාමනයෙන් හොඳ දෙයක් වෙන්න ඕනා. නියාමනය කියලා මුදලක් අරගෙන අපිට කිසිදෙයක් වෙන්නෙ නැත්තම් වැඩක් නැහැ. හොද විදිහට කරනවා නම් අපි බලනවා. එහෙම නැත්තම් අපිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට යන්න වෙනවා.”

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved