Connect with us

පුවත්

ක්‍රිෂ් ගොඩනැගිල්ල ගැන කඩිනම් පියවර ගන්න – ඇමති

Published

on

මේ වන විට ඉදිකිරීම් කටයුතු අතහැර දමා ඇති කොළඹ ක්‍රිෂ් ගොඩනැගිල්ල සහ අවට වැඩබිම් ප්‍රදේශය ආශ්‍රිතව මහජනතාවට අනතුරක් සිදුවීමේ වැඩි ඉඩකඩක් පවතින බැවින් අවශ්‍ය ආරක්ෂිත පියවර කඩිනමින් ගන්නා ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය – ප්‍රසන්න රණතුංග මහතා අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් වෙත උපදෙස් ලබා දී ඇත.

යම් ආකාරයකින් අනතුරක් සිදුවුවහොත් මෙහි වගකීම අමාත්‍යාංශය ඇතුළු රජයට පැවරෙන බැවින් මේ සම්බන්ධයෙන් වහාම පියවර ගැනීමේ අවශ්‍යතාව අමාත්‍යවරයා අවධාරණය කළේය.

නාගරික සංවර්ධන හා නිවාස අමත්‍යාංශයීය උපදේශක කාරක සභාව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ සභාපතීත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී අමාත්‍යවරයා විසින් මෙම උපදෙස් ලබා දෙන ලදී. රාජ්‍ය අමාත්‍යවරුන් වන තේනුක විදානගමගේ සහ අරුන්දික ප්‍රනාන්දු යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ක්‍රිෂ් ගොඩනැගිල්ල ඉදිකරමින් පැවති ස්ථානයේ සවිකර ඇති ඉදිකිරීම් ආධාරක ඇතුළු උපාංග සුළඟට  කඩා වැටී අනතුරු සිදුවීමේ අවදානමක් පවතින බවත්, ජලය එක්රැස්වීම හේතුවෙන් මදුරුවන් බෝවීමේ හැකියාව පවතින බවත් මෙහිදී සාකච්ඡා විය. විශේෂයෙන් මෙම ගොඩනැගිල්ලේ මහල් ත්‍රිත්වයක් පොළොව මට්ටමට පහළින් පැවතීම නිසා එහි වැසි ජලය එක්රැස්ව ඩෙංගු ව්‍යාප්ත වීමේ දැඩි අවධානමක් මතුව ඇති බැවින් අවට ප්‍රධාන පෙළේ සංචාරක හෝටල්වලින් පැමිණිලි ලැබී ඇති බවද නිලධාරීහු මෙහිදී අනාවරණය කළහ.

ඒ අනුව මෙම ආයෝජකයා සමඟ සාකච්ඡා කර ඉදිකිරීම් කටයුතු නිශ්චිත කාලරාමුවක් තුළ නැවත ආරම්භ කිරීමට අපොහොසත් වුවහොත් අවශ්‍ය නෛතික ක්‍රියාමාර්ග කඩිනමින් ගන්නා ලෙස අමාත්‍යාංශ ලේකම්වරයාට අමාත්‍යවරයා වැඩිදුරටත් උපදෙස් ලබා දුන්නේය. ඉදිකිරීම් කටයුතු නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් අදාළ ආයෝජන සමාගම සමඟ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවත් නිලධාරීහු මෙහිදී පැවසූහ.

මීට අමතරව, පළාත් පාලන ආයතනවල මැදිහත්වීමකින් තොරව නාගරික සංවර්ධන අධිකාරියේ අවසරයෙන් පමණක් ගම්පහ සංඝබෝධි විද්‍යාලය ඉදිරිපිට ඉදිකරන ලද නිවාස ව්‍යාපෘතිය මේ වන විට අතරමග අත්හැර දමා ඇති බව කමිටුවේ අවධානයට යොමු විය. මෙම නිවෙස්වලට මාර්ග, ජලය සැපයීම, අපද්‍රව්‍ය කළමනාකරණය ඇතුළු යටිතල පහසුකම් ද නිසි පරිදි ලබාදී නොමැති බවත් මෙහිදී හෙළි විය.

විශේෂ ව්‍යාපෘතියක් ලෙස අවසර ලබාදී ඇති මෙම ව්‍යාපෘතිය නියමිත ප්‍රමිතීන්ට අනුව සිදුනොකිරීම නිසා නීතිමය ක්‍රියාමාර්ග ගත හැකි බව නිලධාරීහු පෙන්වා දුන්හ. පසුගිය මාර්තු මාසයේ පැවති අමාත්‍යාංශයීය  උපදේශක කාරක සභාවේ ද මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සාකච්ඡා කළ ද ඒ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම පිළිබදව අමාත්‍යවරයා සිය අප්‍රසාදය පළ කළේය. ඒ අනුව, මේ සම්බන්ධයෙන් කඩිනම් පියවර ගෙන සති දෙකක් ඇතුළත කාරක සභාවට වාර්තාවක් ලබාදෙන ලෙස අමාත්‍යවරයා නියෝග කළේය.

මෙම රැස්වීමට, කාරක සභා සාමාජිකයන් වන ගරු කෝකිලා ගුණවර්ධන, ගරු මිලාන් ජයතිලක සහ ගරු මධුර විතානගේ යන මහත්ම මහත්මීන් මෙන්ම රාජ්‍ය අමාත්‍යවරු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් පිරිසක්ද  අමාත්‍යංශ නිලධාරීහු ද සහභාගී වූහ.

පුවත්

ප්‍රදේශ කිහිපයකට වැසි 

Published

on

By

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.

යාපනය සහ මන්නාරම දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.

Continue Reading

පුවත්

IMF ණය පහසුකමේ 4 වැනි සමාලෝචනයට විධායක මණ්ඩලයේ අනුමැතිය

Published

on

By

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාව සඳහා වන මාස 48ක විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) විධිවිධානය යටතේ සිව්වන සමාලෝචනය ඊයේ (01) දින සම්පූර්ණ කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාවට වි.ගැ.හි. මිලියන 254ක්, එනම් එක්සත් ජනපද ඩොලර් මිලියන 350ක් පමණ වෙනුවෙන් ප්‍රවේශය හිමිවන අතර මේ දක්වා මෙම විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන යටතේ ලබා දී ඇති මුළු මූල්‍යාධාර ප්‍රමාණය ඩොලර් බිලියන 1.74ක් දක්වා ඉහළ යනු ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී එවන් පැපජෝජියෝ මහතා විසින් මේ බව නිවේදනය කර සිටී.

Continue Reading

පුවත්

රනිල් දේශපාලනයට වඩා රට ගැන හිතුවා – හිටපු මුදල් ලේකම්

Published

on

By

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලනයට වඩා රට ගැන සිතා කටයුතු කළ බවත්, ඔහු ගත් දැඩි තීන්දු නිසා රටේ ප්‍රගතිය ඉදිරියට කරගෙන යාමට හැකිවූ බවත් මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් මහින්ද සිරිවර්ධන මහතා කියයි.

දෙරණ 360 වැඩසටහනට සහභාගිවෙමින් ඔහු මේ බව කියා සිටියේය.

තමාට ගෝඨාභය රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ සහ අනුර කුමාර දිසානායක යන ජනාධිපතිවරුන් තිදෙනාගෙන් විශිෂ්ට සහයෝගයක් ලැබුණු බවද ඔහු පැවැසීය.

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා තමා විශ්වාස කර මුදල් අමාත්‍යාංශයේ ලේකම් ධුරය සඳහා පත්කළ බවත්, අප්‍රසිද්ධ චරිතයක්ව සිටි තමා එම තනතුරට පත් කිරීම පිළිබඳව හිටපු ජනාධිපතිවරයාට තමා ස්තූතිවන්ත බව බවත් ඔහු කීවේය.

රටේ බැරෑරුම් තත්ත්වයක් තිබියදී දේශපාලන නායකත්වය ලබා දුන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා බවත්, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සමග සේවය කිරීමේදී ඉතා විශිෂ්ට අත්දැකීම් තමාට ලබා ගැනීමට හැකිවූ බවත්, තීරණ ගැනීම සේම නායකත්වයේ ගුණාංග තමාට ඔහුගෙන් ඉගෙන ගැනීමට අවස්ථාව ලැබුණු බවත් හිටපු ලේකම්වරයා පැවැසීය.

රටවල් සමග ගනුදෙනු කිරීමේදී, ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැහැදිලි නායකත්වයක් ලබා දුන් බවද ඔහු පැවැසීය.

ආර්ථික කළමනාකරණය කිරීමේ ගමනේදී අඛණ්ඩතාවය රඳවා ගැනීමේදී අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ගත් තීරණවලට තමා ඉතාමත් ගරු කරන බවද හිටපු ලේකම්වරයා පැවැසුවේය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved