පුවත්

ක්ලබ් වසන්ත ඝාත­නයේ සැකකරුවන් 22 දක්වා රිමාන්ඩ්

Published

on

අතු­රු­ගි­රිය නග­රයේ ටැටූ මධ්‍ය­ස්ථා­න­යක් තුළ දී සිදුවූ වෙඩි තබා දෙදෙ­නකු ඝාත­නය කිරීමේ සිද්ධිය සම්බ­න්ධ­යෙන් අතු­රු­ගි­රිය පොලි­සිය මගින් අත්අ­ඩං­ගු­වට ගත් එම ටැටූ මධ්‍ය­ස්ථා­නයේ හිමි­කරු ඇතුළු සැක­ක­රු­වන් හත් දෙනකු  අධි­ක­ර­ණය වෙත ඉදි­රි­පත් කිරී­මෙන් අන­තු­රුව ලබන 22 දින දක්වා රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කරන ලෙස කඩු­වෙල මහේ­ස්ත්‍රාත් චානිමා විජ­ය­බ­ණ්ඩාර මහ­ත්මිය ඊයේ (10) දින නියෝග කළාය.

මෙහිදී පොලි­සිය මඟින් අදාළ සැක­ක­රු­වන් හත් දෙනා සඳහා පැය 48ක කාල­යක් රැඳ­වුම් නියෝග ලබා­දෙන ලෙස අධි­ක­ර­ණ­යෙන් ඉල්ලා සිටි  අව­ස්ථා­වේදී මෙම සැක­ක­රු­වන් බන්ධ­නා­ගා­ර­ගත කිරී­මෙන් එම පරී­ක්‍ෂණ කට­යු­තු­ව­ලට බාධා­වක් වන්නේ­දැයි මහේ­ස්ත්‍රා­ත්ව­රිය පොලි­සි­යෙන් විමසා සිටි­යාය.

එහිදී පොලි­සිය සෑහී­ම­කට පත්විය හැකි පිළි­තු­රක් ලබා නොදුන් බැවින් එම ඉල්ලීම ප්‍රති­ක්ෂේප කර සැක­ක­රු­වන් රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කිරී­ම­ටත් අවශ්‍ය ප්‍රශ්න කිරීම් බන්ධ­නා­ගා­රය තුළ දී සිදු­කි­රී­ම­ටත් නියෝග කළාය.

මෙහි දී ප්‍රධාන සැක­කරු වන අදාළ ටැටූ මධ්‍ය­ස්ථා­නය හිමි­කරු වන දුලාන් සංජුල ද සිල්වා වෙනු­වෙන් පෙනී සිටි නීතිඥ නුවන් ජය­ව­ර්ධන මහතා විසින් තම සේවා­දා­ය­ක­යාට රහස් ප්‍රකා­ශ­යක් ලබා­දී­මට අවශ්‍ය බව අධි­ක­ර­ණය හමුවේ කරුණු දැක්වූ අතර ඒ පිළි­බඳ සලකා බලා ඉදි­රියේ දී නියෝ­ග­යක් ලබා දෙන බව ද එහි මහේ­ස්ත්‍රා­ත්ව­රිය  ප්‍රකාශ කළාය.

එසේම නියෝජ්‍ය පොලි­ස්ප­ති­ව­ර­යකු මෙම සැක­ක­රු­වන් මාධ්‍ය ඉදි­රියේ තබා­ගෙන ප්‍රශ්න කර­කර එය පටි­ගත කර විද්‍යුත් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ජාලා­වල ප්‍රචා­ර­ණ­යට සැලැ­ස්වීම සම්බ­න්ධ­යෙන් විත්ති­ක­රු­වන් වෙනු­වෙන් පෙනී සිටි නීති­ඥ­යන් අධි­ක­ර­ණය හමුවේ කරුණු මතු කළ අව­ස්ථා­වේදී  ඒ සම්බ­න්ධ­යෙන් මහේ­ස්ත්‍රාත් චානිමා විජ­ය­බ­ණ්ඩාර මහ­ත්මිය ප්‍රකා­ශ­යක් කර­මින් මෙම සැක­ක­රු­වන් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­ම­ටත් පෙර විද්‍යුත් නාළි­කා­වල සහ සමාජ මාධ්‍ය මඟින් රැඳ­වුම් නියෝග ලබා­ගෙන ඇති බවට ප්‍රචා­රය වී තිබීම පිළි­බඳ පොලි­සිය දැඩි ලෙස දෝෂ­ද­ර්ශ­න­යට ලක් කළාය.

එලෙස රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කරන ලද්දේ අදාළ ටැටූ මධ්‍ය­ස්ථා­නයේ හිමි­කරු වන බළ­පි­ටිය මොහො­ට්ටි­යා­වත්ත ශ්‍රී ගුණා­නන්ද මාවත පදිංචි බළ­පි­ටි­යගේ දුලාන් සංජුල ද සිල්වා (28) නමැති ධීව­ර­යකු සහ ටැටූ ශිල්පි­යකු,  අහු­න්ගල්ල පාගො­ඩ­මුල්ල ධම්ම­කු­සල පෙදෙස පදිං­චි­ක­රු­වකු වන යගම මහේෂ් ධනුෂ්ක ද සිල්වා (27) නමැති හිටපු යුද හමුදා සෙබ­ළකු, බොල්ල­ත්තාව දෙණිය පාර තුප්පහි මුද­ලිගේ යෝහාන් කාවින්ද ද සිල්වා (24),   අම්බ­ල­න්ගොඩ රතු කුරුස නිවාස ගාර්දි පුංචි හේවගේ රසික ලක්මාල් (37) නමැති පෞද්ග­ලික බස් රථ කොන්දො­ස්ත­ර­ව­ර­යකු,  බෙලි­අත්ත දම්මුල්ල ගම්මඩු ගෙදර විජය නායක කම්කා­න­න්ලාගේ චතු­රංග ලක්මාල් (37) නමැති ත්‍රිරෝද රථ රියැ­දු­රකු,  බෙලි­අත්ත පාළු­වත්ත විල්සන් පාර සෙල්ල හැන්දි චලංක කේෂාන් (28) හැවි­රිදි එළ­වළු වෙළෙ­න්දකු, බෙලි­අත්ත අත්බෝ­ධිය ගණිෂ්ක ජය­රු­වන් විජේ­සිරි (31) නමැති වාහන සීස­ර්ව­ර­යෙකි. අදාළ අප­රා­ධය සිදු වූ අතු­රු­ගි­රිය – කඩු­වෙල පාර ටැටූ  ආය­ත­නයේ හිමි­කරු ලෙස පෙනී සිටි­මින් ඩුබායි රටේ සිටින සංවි­ධා­නා­ත්මක අප­රා­ධ­ක­රු­වකු වන ලත්තුවා හන්දි සංජීව පුෂ්ප කුමාර හෙවත් “ලොකු පැටී” යන අය­ගෙන් රුපි­යල් ලක්ෂ දහ­ස­ය­කට ආසන්න මුද­ලක් ලබා­ගෙන ඝාත­න­යට ලක් වූ සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත යන අය අදාළ ස්ථාන­යට ගෙන්වී­මට කට­යුතු කිරීම යටතේ එහි හිමි­කරු වන බළ­පි­ටි­යගේ දුලාන් සංජුල ද සිල්වා යන අය අධි­ක­ර­ණය වෙත ඉදි­රි­පත් කර තිබුණි.

එසේම ඩුබායි රටේ සිටින ලොකු පැටී  නමැ­ත්තාගේ දැනුම් දීම මත අදාළ වෙඩි­ක්ක­රු­වන් පැමිණි ව්‍යාජ අංක යෙදූ මෝටර් රථය අම්බ­ල­න්ගොඩ ප්‍රදේ­ශයේ සිට සිද්ධි­යට පෙර දින­යේදී අතු­රු­ගි­රිය – ගල්පො­ත්තාව පාර ප්‍රදේ­ශ­යට රැගෙන විත් තවත් පුද්ග­ල­ය­කුට එම මෝටර් රථය භාර­දී­මට සහාය වීම සම්බ­න්ධ­යෙන් යගම ගමගේ මහේෂ් ධනුෂ්ක ද සිල්වා යන අයට චෝදනා ඉදි­රි­පත් කර තිබුණි.

එසේම අනෙක් සැක­ක­රු­වන් අප­රා­ධ­යට අනු­බ­ල­දීමේ චෝදනා යටතේ අධි­ක­ර­ණය වෙත ඉදි­රි­පත් කර තිබුණි.

පැමි­ණිල්ල වෙනු­වෙන් අතු­රු­ගි­රිය පොලි­සිය කට­යුතු කළ අතර විත්ති­ක­රු­වන් වෙනු­වෙන් නුවන් ජය­ව­ර්ධන මහතා ප්‍රමුඛ නීතිඥ කණ්ඩා­ය­මක් පෙනී සිටි­යහ.

(දිනමිණ)

Trending

Exit mobile version