Connect with us

පුවත්

ක්ලබ් වසන්ත ඝාතන සැකකරුවන් අතර සීසර් කෙනෙක්!

Published

on

සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඝාතනය සම්බන්ධයෙන් මේ වනවිට තොරතුරු රැසක් අනාවරණය වෙමින් පවතී.

පොලීසිය පවසන්නේ වසන්ත ඝාතනය වෙනුවෙන් ලොකු පැටී, දුලාන්ව ඉත්තෙක් ලෙස පාවිච්චි කර ඇතැයි විමර්ශන අනුව පෙනීයන බවය.

ව්‍යාපාරිකයකු වූ සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ජුලි 08 වනදා අතුරුගිරියේ පිහිටි ටැටූ මධ්‍යස්ථානයක සිදුවූ වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට පත්වුණි.

එම අවස්ථාවේ එහි සිටි ප්‍රසිද්ධ ගායන ශිල්පිනී කේ. සුජීවාගේ සැමියා වන නයන වාසුල නැමැත්තාද මියගිය අතර කේ. සුජීවා, ක්ලබ් වසන්තගේ බිරිය, තවත් කාන්තාවක් හා පිරිමි පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගත කෙරුණි.

පොලිස් විමර්ශන අනුව බලපිටියේ මුල් පදිංචිකරුවකු වූ ටැටූ මධ්‍යස්ථාන හිමිකාර දුලාන් සන්ජුල ඩුබායි හී සිටින ලොකු පැටීව හඳුනාගෙන ඇත්තේ මහේෂ් නමැති පුද්ගලයකු මාර්ගයෙනි.

අනතුරුව ඔවුන් දෙදෙනා වට්ස්ඇප් මාර්ගයෙන් සම්බන්ධතා පවත්වා ඇති අතර එලෙස ගොඩනැගුණු සම්බන්ධතාව ඔස්සේ අතුරුගිරියේ ටැටූ මධ්‍යස්ථානය විවෘත කිරීමට සිදුවූ සාකච්ඡාව සැකකරු අද පොලීසිය හමුවේ ප්‍රකාශයක් කරමින් අනාවරණ කර තිබුණි.

පොලිසිය පවසන්නේ ටැටූ මධ්‍යස්ථාන හිමිකාර දුලාන් සන්ජුල සහ ක්ලබ් වසන්ත පළමුවරට හමුවී ඇත්තේ සිද්ධිය වූ දිනයේ බව ඔහු කළ ප්‍රකාශ අනුව පෙනී යන බවය.

එසේම දුලාන් නව ටැටූ මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට තම බිරිඳ ඇතුළු පවුලේ සාමාජිකයන්ද කැඳවාගෙන පැමිණ සිටීම නිසා ඔහු මෙවන් ඝාතන සිද්ධියක් එහි සිදුවනු ඇතැයි කලින් දැන නොසිටින්නට ඇතැයි පොලීසිය උපකල්පනය කරයි.

මේ වනවිට ඔහුගේ බිරිඳ ද සිටින්නේ එම සිද්ධියේ වෙඩි ප්‍රහාරවලින් බරපතළ තුවාල ලබා රෝහල්ගතවය. 

කෙසේවෙතත් දුලාන්ගේ මවට එරෙහිවද මත්කුඩු සම්බන්ධ නඩු දෙකක් දැනටත් අධිකරණයේ විභාග වෙමින් පවතී.

එසේවුවද ලොකු පැටී සමඟ සම්බන්ධතා නොපවත්වන ලෙස ඇය දුලාන්ට අවවාද කර ඇතැයි ඔහු කළ ප්‍රකාශවලින් අනාවරණ වූ බවය පොලීසිය පැවසීය.

මෙම ඝාතන සිද්ධියට අදාළව මේ වනවිට අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් හය දෙනාම අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊට විවිධ ආකාරයෙන් ආධාර අනුබල සැලසීමේ චෝදනා මතය.

පොලිස් විමර්ශන අනුව ඝාතකයන් පැමිණි මෝටර් රථය දුලාන්ට ලොකු පැටීව හඳුන්වාදුන් මහේෂ් විසින් සිද්ධිය වූ දින අලුයම තුනට කඩුවෙල ගල්පොත්ත පාරට ගෙනැවිත් තිබේ.

අනතුරුව මෝටර් රථය භාරගෙන ඇත්තේ නාඳුනන පුද්ගලයකු විසිනි.

ඝාතකයන් පළාගොස් අතහැර දමා තිබූ වෑන් රථය ලීසිං නොගෙවීම මත අත්පත් කරගත් රථයක් වන අතර එය මාස එකහමාරකට පෙර බෙලිඅත්තේ අයකුට භාරදී ඇත්තේ ලොකු පැටීගේ උපදෙස් මතය.

එය ඔහු භාරයේ තබාගෙන සිටීම සඳහා රුපියල් ලක්ෂ එකහමාරක් ගෙවා ඇති අතර ඔහුට පැවරී තිබූ රාජකාරිය වී ඇත්තේ සෑම දිනකම එක් වරක් වෑන් රථය පණගන්වා එහි බැටරිය බැසීම වළක්වාගැනීමය.

මෙලෙස වාහන පහසුකම් සැලසීමට සම්බන්ධවූවන් අතර සීසර්වරයකු ද සිටින බව පොලීසිය සඳහන් කරයි.

එම සැකකරුවන් සියලු දෙනා ඝාතකයන්ට අවශ්‍ය වාහන සැපයීම හා ඒවා සම්බන්ධීකරණය සඳහා අතරමැදි පහසුකම් සැලසූවන් වන නමුත් ඝාතකයන් දෙදෙනා තවමත් සොයාගෙන නොමැත.

කෙසේවෙතත් ඔවුන් පළපුරුදු වෙඩික්කරුවන් බවත්, එම එක් තුවක්කුවක් LTTEය පාවිච්චි කළ ගිනි අවියක් බව පෙනී යන බවත් පොලීසිය පවසයි.

ඝාතකයන් මුහුදු මාර්ගයෙන් විදෙස් රටකට පළායාම වැළැක්වීම සඳහා මන්නාරම් මුහුදු තීරයේ ආරක්ෂාව දැනටමත් තර කර තිබේ.

ඔවුන් පිළිබඳ විශ්වසනීය තොරතුරක් ඇත්නම් 0718 59 16 87 අංකයට දැනුම් දෙන ලෙස පොලීසිය ඉල්ලා සිටී.

කෙසේවෙතත් මේ ඝාතනයට කංජිපානි ඉම්රාන්ගේ සම්බන්ධයක් ඇතැයි තවමත් හෙළිවී නොමැති බව පොලීසිය සඳහන් කරයි.

බස්නාහිර දකුණු භාර නියෝජ්‍ය පොලිස්පති ගසංග මාරපන මහතාගේ අධීක්ෂණය යටතේ විමර්ශන ක්‍රියාත්මකය.

(අදදෙරණ)

පුවත්

ලංකාවට නො ආ රට හරක්ට ගෙවූ කෝටි 211 නිලධාරීන්ට ගෙවන්න නියෝගයක්

Published

on

By

ග්‍රාමීය ආර්ථික අමාත්‍යාංශය කිරි ගවයන් 15000ක් ආනයනය කිරීමට අදාළව ගෙවන ලද කෝටි 211 ක  මුදලක් අය කරගැනීමට කටයුතු නොකිරීම හේතුවෙන් සිදුවූ පාඩුව එම කටයුත්තට දායක වූ සියලු බලධාරීන්ගෙන් අය කරගැනීමට කටයුතු කරන ලෙස  ජාතික විගණන කාර්යාලය නිර්දේශ කර ඇත.

විගණන ප්‍රධානීන් එම නිර්දේශය කර ඇත්තේ කිරි ගවයන් ආනයනය කිරීමේදී සිදුවී ඇතැයි පැවසෙන දූෂණ වංචා සහ අක්‍රමිකතා පිළිබඳව සොයා බැලීමට කෙරුණු විගණනයට අදාල විශේෂ විගණන වාර්තාවෙනි.

මෙම පාඩුව සඳහා දායක වූ සියලු දෙනාටම දැඩි නීතිමය හා විනය ක්‍රියාමාර්ග ගත යුතු බවටද විගණන ප්‍රධානීන් නිර්දේශ කර ඇත.

කිරි ගවයන් ආනයනයට පෙර ගෙවන ලද රුපියල් කෝටි 175 කට ආසන්න අත්තිකාරම් මුදල සහ ණය මුදලින් කොටසක් සහ  ඊට අදාල පොලිය මෙම මූල්‍ය පාඩුවට  ඇතුළත් වන බව ජාතික විගණන කාර්යාලය පවසයි.

මූලික කාර්යභාරය  ඉටුකිරීමෙන් තොරව සහ විගණන අංශ ලබා දී තිබූ  නිර්දේශ නොතකා හරිමින්  කිරි ගවයන් ආනයනයට මෙසේ අත්තිකාරම් මුදල් නිදහස් කර තිබූ බවත්  එම මුදල් පසුගිය වසරේ දෙසැම්බර් මස 31 වැනිදා වන විටද අය කරගෙන නොතිබූ බවත් වාර්තාවේ දැක්වේ.

කිරි ගවයන් නොගෙන්වා මෙපමණ ඵලදායි නොවන වියදමක් දරා තිබියදී කිරි ගොවීන්ට සහන සැලසීම සඳහා හදිසි අවස්ථා අරමුදලින් රුපියල් කෝටි තිහක් වෙන් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය අපේක්ෂා කර තිබූ බවද විශේෂ විගණන වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

(ලංකාදීප)

Continue Reading

පුවත්

ලංකාව දුන් පොරොන්දු ඉටුකරනවාදැයි බලන්න IMF දෙවැනියා ලංකාවට

Published

on

By

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලයේ මීළඟ රැස්වීමට පෙර විදුලිය මිල වැඩි කිරීම ඇතුළු ශ්‍රී ලංකා ආණ්ඩුව පොරොන්දු වූ ගිවිසුමේ කරුණු ඉටුවේදැයි දැනගැනීම පිණිස විශේෂ සාකච්ඡාවක් සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ, ගීතා ගෝපිනාත් මහත්මිය සහ ආසියානු කලාපීය අධ්‍යක්ෂ ක්‍රිෂ් සිරිනිවාසන් මහතා ලබන සතියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. 

ගෝපිනාත් මහත්මිය මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරියට පමණක් දෙවැනි වන ප්‍රධාන නිලධාරිනියයි.

මෙම ඉහළ පෙළේ දූත පිරිස ශ්‍රී ලංකා මහ බැංකුව සහ ජනාධිපතිවරයා සමඟ විශේෂ සාකච්ඡා වට දෙකකට සහභාගි වනු ඇතැයි දැනගන්නට තිබේ.

විදුලිය මිල සූත්‍රයක් ක්‍රියාත්මක කිරීම ඇතුළු මීට පෙර ඇති කරගත් කාර්ය මණ්ඩල එකඟතා ඉටුකිරීම සම්බන්ධව මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ මතය දැනගැනීම ඔවුන්ගේ ශ්‍රී ලංකා සංචාරයේ ප්‍රධාන අරමුණ බවද සඳහන්ය.

(දේශය)

Continue Reading

පුවත්

නියාමනයට පෙර ප්‍රවාහන සංගම් රජයෙන් සාකච්ඡාවක් ඉල්ලයි

Published

on

By

පෞද්ගලික බස් රථ, ත්‍රිරෝද රථ හා පාසල් සිසුන් ප්‍රවාහන රථ නියාමනයට පෙර පවතින ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡාවක් ලබාදෙන ලෙස ප්‍රවාහන සංගම් රජයෙන් ඉල්ලිමක් කර තිබේ.

සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමයයේ සභාපති මල්ශ්‍රී ද සිල්වා මහතා සඳහන් කළේ රජය විසින් ඊට අවශ්‍ය ක්‍රියාමාර්ග නොගන්නේ නම් වෘත්තීය ක්‍රියාමාර්ග සඳහා යොමුවන බවය.

පෞද්ගලික බස් රථ, ත්‍රිරෝද රථ, පාසල් සිසුන් ප්‍රවාහන රථ ඇතුළු ප්‍රවාහන මාදිලි රැසක් නියාමනයට අවශ්‍ය පියවර ගන්නා අතර ජාතික ගමනාගමන කොමිෂන් සභාවට මේ සඳහා සියළු බලතල පැවරීමට පියවර ගන්නා බවද ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදු කර තිබිණි.

ඒ අනුව ජාතික ගමනාගමන කොමිෂන් සභා සංශෝධන පනත් කෙටුම්පත පසුගියදා පාර්ලිමේන්තුවේදි සම්මත වු අතර පෞද්ගලික බස් රථ, ත්‍රිරෝද රථ, පාසල් සිසුන් ප්‍රවාහන රථ ඇතුළු ප්‍රවාහන මාදිලි රැසක් නියාමනයට අවශ්‍ය ගැසට් පත්‍රයද නිකුත් කළ බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පැවසීය.

සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමයයේ සභාපති මල්ශ්‍රී ද සිල්වා මහතා මේ  සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළේය.

“නියාමනයට කලින් බොහෝ දේවල් තියනවා කරන්න. හැම වතාවෙම මේක කරන්න හැදුවා. ඒත් අපිට කිසිදෙයක් වෙන්නෙ නැතුව රජයට ආදායමක් ලබා ගන්න දෙයක් විතරයි වෙන්නෙ. අපි ඒ දේවල්වලට කැමති නෑ. අපි කියන්නෙ මේක නියාමනය කරනව නම් අපේ ප්‍රශ්න සාධාරණව අහලා ඒවට අවශ්‍ය දේවල් කරලා බලලා අපිත් එක්ක කතා කරලා ඉවරවෙලා මේ දේවල් කරොත් හොදයි කියලා හිතනවා.නියාමනයෙන් හොඳ දෙයක් වෙන්න ඕනා. නියාමනය කියලා මුදලක් අරගෙන අපිට කිසිදෙයක් වෙන්නෙ නැත්තම් වැඩක් නැහැ. හොද විදිහට කරනවා නම් අපි බලනවා. එහෙම නැත්තම් අපිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට යන්න වෙනවා.”

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved