Connect with us

පුවත්

ක්ෂුද්‍ර මූල්‍ය ණය අර්බුදය, කතුන් වැඩිපුර මැදපෙරදිග යන්නත් හේතුවක්!

Published

on

ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර මූල්‍ය අර්බුදය හේතුවෙන් අගතියට පත් පාර්ශ්ව සම්බන්ධයෙන් ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී අවධානය යොමු විය. 

මේ පිළිබඳ අවධානය යොමු වූයේ ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 09දා පාර්ලිමේන්තුවේ රැස්වූ අවස්ථාවේදීය. 

මෙම කාරක සභාව සඳහා ක්ෂුද්‍ර මූල්‍ය ණය හේතුවෙන් අගතියට පත් පුද්ගලයන් නියෝජනය කරන ලංකාවේ සංවිධාන කැඳවා තිබුණි. එසේම මේ සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව, මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය, සමෘද්ධි දෙපාර්තමේන්තුව, කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීමේ අමාත්‍යාංශය, සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන නියෝජනය කරමින් නිලධාරීහු පැමිණ සිටියහ.

ලක්ෂ 28ක ග්‍රාමීය ජනයා අගතියට ; ඉන් ලක්ෂ 24ක් ම කතුන්

මෙහිදී අදහස් දක්වමින් ක්ෂුද්‍ර මූල්‍ය ණය හේතුවෙන් අගතියට පත් පුද්ගලයන් නියෝජනය කරන ලංකාවේ සංවිධාන පෙන්වා දුන්නේ ක්ෂුද්‍ර මූල්‍ය අර්බුදය හේතුවෙන් ග්‍රාමීය ජනතාව ලක්ෂ 28 ක් පමණ අගතියට පත්වී ඇති බවත් ඉන් ලක්ෂ 24 කාන්තාවන් බවත් හදුනාගෙන ඇති බවයි. 2018 වර්ෂයේ කරන ලද සමීක්ෂණයකින් මෙම කරුණු හඳුනාගෙන ඇති බවද මෙහිදී සඳහන් විය. 

කතුන් වැඩිපුර මැදපෙරදිග යන්නත් හේතුවක්

එසේම මෙම ණය ලබා දී ඇත්තේ කුඩා මුදලක් වුවද ග්‍රාමීය ජනතාවට ඒවා ගෙවාගැනීමට අපහසු ආකාරයෙන් 38% ක 48% ක පමණ පොලියක් අයකරගැනීමට කටයුතු කොට ඇති බවත් මේ නිසා ග්‍රාමීය කාන්තාවන්ගේ ජීවිත සම්පූර්ණයෙන්ම අභාග්‍ය සම්පන්න තත්ත්වයකට පත්ව ඇති බවත් මෙහිදී නියෝජිතයින් පෙන්වා දුන්හ. තවද ග්‍රාමීය කාන්තාවන් වැඩි ප්‍රමාණයක් මැදපෙරදිග රටවල ගෘහ සේවයට එක්වීමටත් ක්ෂුද්‍ර මූල්‍ය ණය අර්බුදය හේතුවක් වී ඇති බවද ඔවුහු පෙන්වා දුන්හ.
තවද ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත්‍රයේ මේ අර්බුදය නිර්මාණය වී ඇත්තේ  මහ බැංකුවේ අධීක්ෂණය යටතේ තිබෙන  බැංකු නොවන ප්‍රධාන මූල්‍ය සමාගම් හයක් වෙතින් ණය ලබාගත් විශාලතම කණ්ඩායම තුළ බව මෙහිදී අනාවරණය වූ අතර මුලු ක්ෂුද්‍ර මූල්‍ය ණය වන මිලියන 84,000 කින් 80% ක් එනම් රුපියල් මිලියන  67,000ක් මෙම ආයතන ලබා දී ඇති බවත් මේ වනවිට එම ණය ගත් අයගේ දේපළ අත්පත් කරගැනීම ආරම්භ කර ඇති බවත් මෙහිදී හෙළිදරව් විය. 

පනන් කෙටුම්පතෙන්වින්දිතයන්ගේ ප්‍රශ්න ආමන්ත්‍රණය කර නෑ

එසේම යෝජිත පනන් කෙටුම්පතෙන් අගතියට පත් පාර්ශ්ව වල ප්‍රශ්න ආමන්ත්‍රණය කර නොමැති බවත් එමගින් ඔවුන්ට තවත් ගැටලුවලට මුහුණ දීමට සිදු වන බවත් මෙහිදී අගතියට පත් පාර්ශ්ව වල නියෝජිතයින් පෙන්වා දුන්හ.  

මෙහිදී ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපතිවරයා පෙන්වා දුන්නේ යෝජිත පනත් කෙටුම්පත නැවත සම්පූර්ණ සමාලෝචනයකට භාජනය කිරීමේ අවශ්‍යතාවයක් පවතින බවයි. ඒ අනුව රජය අපහසුතාවයට පත් නොකර, මහ බැංකුව හා  මුදල් අමාත්‍යාංශය එක්ව පනත මුළුමනින්ම සමාලෝචනය කරන ලෙසත්   ප්‍රධාන මූල්‍ය සමාගම් හය ආරක්ෂා කිරීමට නොව වින්දිතයන්ගේ සැබෑ ගැටලුවලට විසඳුම් ඉදිරිපත් වන ලෙස පනත සංශෝධනය කරන ලෙසත්  නියෝග කළ කමිටුව සතියක් තුළ එහි වාර්තාව පාර්ලිමේන්තු වෙත ලබා දෙන ලෙසද දන්වන ලදි. එසේ නොමැති නම් මෙරට ලක්ෂ 30/40 පමණ වන ක්ෂුද්‍ර මූල්‍ය පාරිභෝගියින්ට ගැටලුවලට මුහුණදීමට සිදුවන බව හෙතෙම වැඩිදුරටත් පෙන්වා දුන්නේය. මේ නිසා ආංශික අධීක්ෂණ කාරක සභාව මගින් මේ පිළිබඳ පාර්ලිමේන්තුව දැනුවත් කිරීමට බලාපෙරොත්තු වන බවද  ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපතිවරයා සඳහන් කළේය.

මෙම කාරක සභාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සරත් වීරසේකර, නිමල් ලන්සා, මෙහාහොමඩ් මුසම්මිල්, අසංක නවරත්න, වසන්ත යාපා බණ්ඩාර, නිමල් පියතිස්ස සහ ජයන්ත සමරවීර යන මහත්වරු සහභාගී වූහ.

පුවත්

උතුරු කොරියාවට සයිබර් ප්‍රහාරයක්

Published

on

By

උතුරු කොරියාවේ අන්තර්ජාල සම්බන්ධතාව පැය කිහිපයක් පුරාවට හදිසියේ බිඳ වැටීමට මෙතෙක් නිෂ්චිත හේතුවක් අනාවරණය වී නැතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

උතුරු කොරියාවේ අද (07) අන්තර්ජාල සම්බන්ධතාවය පැය කිහිපයක් පුරා හදිසියේ බිඳ වැටීමකට ලක්වුණු අතර මේ හේතුවෙන් රජයේ වෙබ් අඩවි සහ නිල ප්‍රවෘත්ති සේවාවන් වෙත ප්‍රවේශයට සම්පූර්ණයෙන්ම ඇනහිට තිබුණි.

කෙසේ වෙතත් උතුරු කොරියාවේ අන්තර්ජලය සහ තාක්ෂණ යටිතල පහසුකම් නිරීක්ෂණය කරනු ලබන පර්යේෂකයින් යෝජනා කර ඇත්තේ එය සයිබර් ප්‍රහාරයකට වඩා අභ්‍යන්තර ගැටළුවක් විය හැකි බවය.

මෙම අන්තර්ජාල සම්බන්ධතාව ඇනහිටීමත් සමග උතුරු කොරියාවේ ප්‍රධාන නිල ප්‍රවෘත්ති සේවා, විදේශ අමාත්‍යංශය සහ ජාතික ගුවන් සේවය වන එයාර් කොරියෝ ඇතුළු ප්‍රධාන වෙබ් අඩවි ගණනාවක ප්‍රවේශය අවහිර වූ අතර එය එරට වේලාවෙන් දහවල් දක්වා පැවැති බවද වාර්තා වේ.

උතුරු කොරියාව ලොව වඩාත්ම දැඩි ලෙස පාලනය කරන ලද අන්තර්ජාල පද්ධතිවලින් සමන්විත රටක් වන අතර එයට ඕනෑම ආකාරයක මාර්ගගත සන්නිවේදනයකට ප්‍රවේශයද ඇතුළත් වේ.

සාමාන්‍ය ජනතාවට ප්‍රවේශය ඇත්තේ රජය විසින් පිහිටුවන ලද අන්තර් ජාලයකට පමණක් වන අතර එය පුළුල් ගෝලීය ජාලයකට සම්බන්ධ වී නොමැත. 

කෙසේ නමුත් රජයේ සහ ප්‍රභූ කිහිප දෙනෙකුට පමණක් විවෘත අන්තර්ජාල සම්බන්ධතාවක් හිමිව ඇත.

මේ අතර විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ උතුරු කොරියාව පසුගිය වසරවලදී සයිබර් ප්‍රහාර හේතුවෙන් ඇතිවූ බවට සැක කෙරෙන විශාල අන්තර්ජාල ඇනහිටීම්ද අත්විඳ ඇති බවය.

Continue Reading

පුවත්

ලංකාවට නො ආ රට හරක්ට ගෙවූ කෝටි 211 නිලධාරීන්ට ගෙවන්න නියෝගයක්

Published

on

By

ග්‍රාමීය ආර්ථික අමාත්‍යාංශය කිරි ගවයන් 15000ක් ආනයනය කිරීමට අදාළව ගෙවන ලද කෝටි 211 ක  මුදලක් අය කරගැනීමට කටයුතු නොකිරීම හේතුවෙන් සිදුවූ පාඩුව එම කටයුත්තට දායක වූ සියලු බලධාරීන්ගෙන් අය කරගැනීමට කටයුතු කරන ලෙස  ජාතික විගණන කාර්යාලය නිර්දේශ කර ඇත.

විගණන ප්‍රධානීන් එම නිර්දේශය කර ඇත්තේ කිරි ගවයන් ආනයනය කිරීමේදී සිදුවී ඇතැයි පැවසෙන දූෂණ වංචා සහ අක්‍රමිකතා පිළිබඳව සොයා බැලීමට කෙරුණු විගණනයට අදාල විශේෂ විගණන වාර්තාවෙනි.

මෙම පාඩුව සඳහා දායක වූ සියලු දෙනාටම දැඩි නීතිමය හා විනය ක්‍රියාමාර්ග ගත යුතු බවටද විගණන ප්‍රධානීන් නිර්දේශ කර ඇත.

කිරි ගවයන් ආනයනයට පෙර ගෙවන ලද රුපියල් කෝටි 175 කට ආසන්න අත්තිකාරම් මුදල සහ ණය මුදලින් කොටසක් සහ  ඊට අදාල පොලිය මෙම මූල්‍ය පාඩුවට  ඇතුළත් වන බව ජාතික විගණන කාර්යාලය පවසයි.

මූලික කාර්යභාරය  ඉටුකිරීමෙන් තොරව සහ විගණන අංශ ලබා දී තිබූ  නිර්දේශ නොතකා හරිමින්  කිරි ගවයන් ආනයනයට මෙසේ අත්තිකාරම් මුදල් නිදහස් කර තිබූ බවත්  එම මුදල් පසුගිය වසරේ දෙසැම්බර් මස 31 වැනිදා වන විටද අය කරගෙන නොතිබූ බවත් වාර්තාවේ දැක්වේ.

කිරි ගවයන් නොගෙන්වා මෙපමණ ඵලදායි නොවන වියදමක් දරා තිබියදී කිරි ගොවීන්ට සහන සැලසීම සඳහා හදිසි අවස්ථා අරමුදලින් රුපියල් කෝටි තිහක් වෙන් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය අපේක්ෂා කර තිබූ බවද විශේෂ විගණන වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

(ලංකාදීප)

Continue Reading

පුවත්

ලංකාව දුන් පොරොන්දු ඉටුකරනවාදැයි බලන්න IMF දෙවැනියා ලංකාවට

Published

on

By

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලයේ මීළඟ රැස්වීමට පෙර විදුලිය මිල වැඩි කිරීම ඇතුළු ශ්‍රී ලංකා ආණ්ඩුව පොරොන්දු වූ ගිවිසුමේ කරුණු ඉටුවේදැයි දැනගැනීම පිණිස විශේෂ සාකච්ඡාවක් සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ, ගීතා ගෝපිනාත් මහත්මිය සහ ආසියානු කලාපීය අධ්‍යක්ෂ ක්‍රිෂ් සිරිනිවාසන් මහතා ලබන සතියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. 

ගෝපිනාත් මහත්මිය මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරියට පමණක් දෙවැනි වන ප්‍රධාන නිලධාරිනියයි.

මෙම ඉහළ පෙළේ දූත පිරිස ශ්‍රී ලංකා මහ බැංකුව සහ ජනාධිපතිවරයා සමඟ විශේෂ සාකච්ඡා වට දෙකකට සහභාගි වනු ඇතැයි දැනගන්නට තිබේ.

විදුලිය මිල සූත්‍රයක් ක්‍රියාත්මක කිරීම ඇතුළු මීට පෙර ඇති කරගත් කාර්ය මණ්ඩල එකඟතා ඉටුකිරීම සම්බන්ධව මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ මතය දැනගැනීම ඔවුන්ගේ ශ්‍රී ලංකා සංචාරයේ ප්‍රධාන අරමුණ බවද සඳහන්ය.

(දේශය)

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved