පුවත්

කාරක සභා රැස්වීම් පිටස්තරයින්‌ට තහනම් ; කතානායක දැනුම් දෙයි

Published

on

අද (20) දින පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තු කාරක සභා රැස්වීම් පිළිබඳව කථානායකවරයා විසින් විශේෂ ප්‍රකාශයක් සිදු කළේය.

කාරක සභා රැස්වීම් පැවැත්වෙන අතරවාරයේදී වෙනත් කිසිදු බාහිර පුද්ගලයෙකුට එම රැස්වීම් කාමර තුළට ඇතුළු විය නොහැකි බව එහිදී අදහස් දක්වමින් කථානායකවරයා සඳහන් කර සිටියේය.

එමෙන්ම පාර්ලිමේන්තු නිලධාරීන්ට අමතරව කාරක සභා සභාපතිවරුන් විසින් වෙනත් අයෙක් කාරක සභාවේ වැඩ කටයුතු සඳහා ගෙන්වා ගන්නේ නම් ඒ සඳහා තමාගේ පූර්ව ලිඛිත අවසරය ලබාගත යුතු බවද කථානායකවරයා පැවසීය.

කාරක සභා සභාපතිවරුන් තමන්ගේ විෂය සීමාව ඉක්මවා කාරක සභාවේ වැඩ කටයුතු සිදු කිරීම සම්බන්ධයෙන් තමා වෙත විවිධ අවස්ථාවලදී කරුණු වාර්තා වී ඇති බවත් පාර්ලිමේන්තුවේ දීර්ඝ කාලයක් පුරා පැවති සාම්ප්‍රදායන් ආරක්ෂා වන අයුරින් කටයුතු කිරීමට සියලුම කාරක සභා සභාපතිවරුන් ස්ථාවර නියෝග අනුව බැඳී සිටින බවත් කථානායකවරයා වැඩිදුරටත් පැවසීය.

තවද කාරක සභා වල වැඩ කටයුතු කරගෙන යන අවස්ථාවේ දී විවිධ අමාත්‍යාංශවල, දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත හෝ නොවන ආයතනවල රජයේ නිලධාරීන් කැඳවීමේදී ඔවුන් අපහසුතාවයට පත් නොවන අයුරින් සහ අදාළ කාරක සභාව විසින් අනුමත කරන ලද කාරණා පමණක් සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදන නිකුත් කිරීමටත් වගබලා ගන්නා ලෙස කථානායකවරයා මෙහිදී දැනුම් දුන්නේය.

එමෙන්ම නිල ලිපි කිසිදු අවස්ථාවක දේශපාලන හෝ පෞද්ගලික කාර්යයන් සඳහා භාවිත නොකළ යුතු බවත් කථානායකවරයා මෙහිදී අවධාරණය කළේය.

(මූලාශ්‍රය : අද දෙරණ)

Trending

Exit mobile version