පුවත්

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

Published

on

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් තද සුළං සහ රළු මුහුද පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

අද (06) පෙ.ව 6.00ට නිකුත් කර ඇති එම නිවේදනය හෙට (07) පෙ.ව 6.00 දක්වා බලාත්මක වනු ඇත.

ඒ අනුව ගාල්ල සිට මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (60-65) දක්වා වැඩි වන අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු හෝ ඉතා රළු විය හැකිය.

මන්නාරම සිට පුත්තලම සහ කොළඹ හරහා ගාල්ල දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී (50-55) දක්වා වැඩි වන අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැකි බව එම නිවේදනයේ දක්වා තිබේ.

මේ පිළිබඳ සිය අවධානය යොමුකරන ලෙසයි ධීවර හා නාවික ප්‍රජාවට දැනුම් දී ඇත.

මේ අතර බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කලේය.

ඌව පළාතේත්, මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේදී දී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත්, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (35-45) ක පමණ තද සුළං ඇතිවන බව සඳහන්ය.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, අගෝස්තු මස 28 වන දින සිට සැප්තැම්බර් මස 06 දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශවලට සෘජුවම ඉහලින් පවතිනු ඇත.

අද දින (06) දහවල් 12:08 ට හික්කඩුව, වලස්මුල්ල සහ හම්බන්තොට ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතින බව සඳහන්ය.

Trending

Exit mobile version