පුවත්

කාලගුණෙන් අවවාදාත්මක නිවේදනයක්

Published

on

උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් අද (22) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

විශේෂයෙන් දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී.100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි අතර, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් විටින් විට පැ.කි.මී. 30-40 අතර පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එමෙන්ම බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

මේ අතර නොවැම්බර් 23 වැනිදා පමණ වනවිට ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් නිර්මාණය විය හැකි බවත්, ඉන් අනතුරුව එළැඹෙන දින 2 තුළදී එය නිරිත දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විශේෂයෙන් දන්වා සිටියි.

එම පද්ධතිය තවදුරටත් වර්ධනය වෙමින් දිවයිනේ නැගෙනහිර වෙරළට ආසන්නව ගමන් කරනු ඇතැයි බලාපොරොත්තු වේ.

එනිසා මේ සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන ඉදිරි අනාවැකි සහ නිවේදන පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Trending

Exit mobile version