කැකිරාව නගරයේ පවත්වාගෙන යනු ලබන සතොස සුපිරි වෙළඳ සැලේ මිනිස් පරිභෝජනයට නුසුදුසු අයුරින් අලෙවි කිරීමට සූදානම් කර තිබූ ආනයනික බිත්තර 3,600ක තොගයක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අවුරුදු සමයේ අලෙවි කිරීම සඳහා සූදානම් කොට තිබූ මෙම බිත්තරවල වටිනාකම රුපියල් ලක්ෂ දෙකහමාරකට අධික බව වාර්තා වේ.
සෙල්සියස් අංශක 2-5 අතර උෂ්ණත්වයේ ගබඩා කර තැබිය යුතුව තිබෙන මෙම බිත්තර ශීතාගාරයක නොතබා ගබඩා කර තිබියදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු විසින් සොයාගෙන තිබිණි.
දේශීය වෙළඳපොළෙහි බිත්තර මිල ස්ථාවරව පවත්වාගෙන යාම සඳහා අප්‍රේල් 30 දින දක්වා අවශ්‍ය බිත්තර ආනයනය කිරීමට ඉකුත් දෙසැම්බර් 18 දින පැවති අමාත්‍ය මණ්ඩලයේදී ලබාගත් අනුමැතියකට අනුව උත්සව සමයේ අවශ්‍යතා සඳහා බිත්තර මිලියන 42 ක් පමණ ආනයනය කිරීමට කටයුතු යොදා තිබිණි.
ජනාධිපතිවරයා ඉදිරිපත් කර තිබූ යෝජනාවට අනුව ලැබී තිබූ කැබිනට් අනුමැතිය මත එම බිත්තර ප්‍රමාණය ආනයනය කිරීම සඳහා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් නිර්දේශිත ඉන්දීය ආයතන වෙතින් මිල ගණන් කඳවා, අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි කටයුතු කිරීමට ද නිර්දේශ වී තිබිණි.