පුවත්

කැනඩාවේ දී පවුලක් මරා දැමුවේ ගෙදර නැවැතී සිටි ලාංකික ශිෂ්‍යයෙක්

Published

on

කැනඩාවේ ඔටාවා අගනුවරදී කුඩා දරුවන් හතරදෙනෙකු ඇතුලුව ශ්‍රී ලාංකිකයින් හය දෙනෙකු ඝාතනය  කිරීම සිදුකර ඇත්තේ 19 හැවිරිදි ලාංකික සිසුවෙක් විසින් බව මේවන විට හෙළිව තිබේ.

ෆෙබ්රියෝ ද සොයිසා ( Febrio DE-ZOYSA) නැමැති අදාළ සැකකරු කලක් එම නිවසේම නැවැතී සිටි අයෙක් බවද පැවසේ.

සැකකරු කැනේඩියානු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ, ඔටාවා නුවර පිහිටි ඔවුන්ගේ නිවසේදී තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදු කර ඇති බවයි.

මාස දෙකක් වයසැති කෙලී වික්‍රමසිංහ, දෙහැවිරිදි රින්‍යානා වික්‍රමසිංහ, සිව් හැවිරිදි අශ්විනී වික්‍රමසිංහ සහ හත් හැවිරිදි ඉනුකා වික්‍රමසිංහ යන දැරියන් එලෙස ඝාතනයට ලක්ව තිබේ.

ඔවුන්ගේ මව වන 35 හැවිරිදි දර්ශනී බණ්ඩාරනායක සහ පවුලේ හිතවතෙකු වන 40 හැවිරිදි ගාමිණී අමරකෝන් ද, ඝාතනයට ලක්වූ පිරිස අතරට ඇතුළත් ය.

පහරදීමෙන් බරපතළ තුවාල ලැබූ පියා, රෝහල්ගත කර ඇති බව වාර්තා වේ.

ඝාතන සිදු කිරීමට හේතුව, මෙතෙක් අනාවරණය වී නොමැත.

සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ සඳහන් කළේ, අදාළ සිදුවීම සම්බන්ධයෙන් තමා කම්පනයට පත්වන බවයි.

එම සිදුවීම සිය නගර ඉතිහාසයේ වඩාත්ම කම්පනයක් ඇති කළ ප්‍රචණ්ඩ සිදුවීමක් බව ඔටාවා නගරාධිපතිවරයා ද ප්‍රකාශ කර තිබුණි.

Trending

Exit mobile version