කැබිතිගොල්ලෑව, රඹකැපූවැව ප්‍රදේශයේදී ගම්වාසීන්ගේ පහරකෑමට ලක්වූ පොලිස් සැරයන්වරයා මිය ගොස් තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැක පිට පුද්ගලයින් 04 දෙනෙකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
එලෙස මියගොස් ඇත්තේ 54 හැවිරිදි වාරියපොල පදිංචි පොලිස් සැරයන්වරයෙකි.
ඊයේ (31) පස්වරුවේ වන අලියෙකු පහරදීමෙන් එම ප්‍රදේශයේ පුද්ගලයෙකු මිය ගියේ ය.
ඊට විරෝධය පළ කරමින් ප්‍රදේශවාසීන් මාර්ගය හරස් කරමින් විරෝධතාවයේ නිරත වන බවට ලද තොරතුරක් අනුව කැබිතිගෝලෑව මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා සහ තවත් නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් තිබේ.
පොලිසිය පැවසුවේ, එම අවස්ථාවේදී මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට සහ තවත් නිලධාරීන් දෙදෙනෙකුට කුපිත වූ ප්‍රදේශවාසින් මුඟුරකින් පහර දී ඇති බවයි.
එහිදී ඇති වූ තත්ත්වය පාලනයට පොලිසිය අහසට වෙඩි තබා ඇති බවත්, එසේ පහරකෑමට ලක් වූ පොලිස් නිලධාරියා බේරා ගැනීමට පොලිසියට අහසට වෙඩි තැබීමට සිදු කළ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා සඳහන් කළේ ය.