කුකුල් මස් සිල්ලරට අලෙවි කිරිමට අදාලව පාලන මිලක් ඇති කල යුතු බව ජාතික සත්ව නිෂ්පාදකයින්ගේ සංගමය සදහන් කරයි.
එම සංගමයේ සභාපති සුජිව ධම්මික මහතා සදහන් කලේ රු. 1,200 – රු. 1300ත් අතර මිලකට අලෙවි කල කුකුල් මස් කිලෝවක සිල්ලර මිල මේ වන විට රු. 1,600ත් – රු.1,800ත් අතර මිලක් දක්වා ඉහල ගොස් තිබෙන බවය.
කෙසේවුවත්, ගොවිපල් හිමියන් පවසන්නේ මෙලෙස මස් වල සිල්ලර මිල ඉහල ගියද, මස් තොග ලබා දෙන්නේ කිලෝවක් රු. 850 – රු.1200 අතර මුදලකට බවත්, මෙතෙක් තොග මිලෙහි කිසිඳු ඉහළ යාමක් සිදුවි නොමැති බවත්ය.
ගොවිපල හිමියෙකුට මස් කිලෝවක් නිෂ්පාදනය කිරිම සදහා රු. 800 – රු. 900ක් අතර මුදලක් වැය වන බවත්, දින 45ක කාලයක් කුකුළන් රැකබලා ගත යුතු බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.
කූට වෙලදුන් විසින් මස් කිලෝවකින් රු. 400 කට වැඩි ලාභයක් උපයා ගන්නා නමුත්, තමන්ට මස් කිලෝවකින් ලැබෙන්නේ රු. 300 ට අඩු ලාභයක් බවත් එසේ තිබියදී කුකුල් මස් මිල ඉහල දමා තිබෙන බවට ගොවිපල හිමියන්ට විවිධ පිරිස් විසින් චෝදනා කරමින් සිටින බවත් ගොවිපල හිමියන් පවසයි.
මේ තත්ත්වය යටතේ වෙළදපොල තුළ කුකුල් මස් අලෙවි කිරිමෙදී මිල විකෘතියක් ඇතිවි තිබෙන බවත් එබැවින් පාලන මිලක් ඇති කිරීම අත්‍යවශ්‍ය බවත් ඔවුන් පෙන්වා දෙයි.