Connect with us

පුවත්

කුඩු සළිඳු රතු නිවේදන නිකුත් කිරීම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලයි

Published

on

තමන්ට එරෙහිව ජාත්‍යන්තර පොලීසිය හරහා රතු නිවේදන නිකුත් කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සළිඳු මල්ෂිත හෙවත් කුඩු සළිඳු සිය නීතිඥවරු මාර්ගයෙන් ඉදිරිපත් කර තිබෙන රිට් පෙත්සම සලකා බැලීම සඳහා ජූලි මස 03 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය අද (21) නියම කළේය.

මෙම පෙත්සම අද අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති මොහොමඩ් ලෆාර් තාහීර් සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ශනිල් කුලරත්න මහතා අධිකරණයේ කරුණු දක්වමින්, මෙම පෙත්සම පවත්වාගෙන යාමට හැකියාවක් නොමැති බව පෙන්වා දුනි.

මෙම පෙත්සම්කරු 2023 වසරේ මැඩගස්කරයේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ බවත් ඉන්පසුව රඳවා තබා විමර්ශන සිදුකළ බවත් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කළේය.

ඉන් අනතුරුව සැකකරු මුදා හැරීමෙන් අනතුරුව ඔහු රටින් පලාගොස් ඇති බවට තොරතුරු ලැබී ඇතැයි සඳහන් කළ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා රටින් පලා ගොස් සිටින පුද්ගලයෙකුට මෙවැනි ඉල්ලීමක් ඉදිරිපත් කළ නොහැකි බව පෙන්වා දුනි.

එහිදී පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ සඳහන් කළේ තම සේවාදායකයා අත්අඩංගුවට ගැනීමෙන් පසුව වසරක කාලයක් රඳවුම් භාරයේ තැබූ අතර මාස හතක් පමණ රක්‍ෂිත බන්ධනාගාරගතව සිටි බවත් ය.

ඉන්පසුව තම සේවාදායකයාට එරෙහිව සෘජු සාක්ෂි නොමැති බවට රජයේ නීතිඥවරයා විසින් දැනුම්දීමෙන් පසුව ඔහු ඇපමත මුදා හැරීමට මහාධිකරණ විනිසුරුවරයා තීන්දු කළ බවත් නීතිඥවරයා කියා සිටියේය.

ඉන් අනතුරුව විවිධ පුද්ගලයින් මුදල් ඉල්ලා තම සේවාදායකයාට බරපතළ තර්ජන එල්ල කළ බවත් සිය ජීවිතය පිළිබඳ ඇතිවූ බිය නිසා ඔහු රටින් පලාගොස් ඇති බවත් එම නීතිඥවරයා සඳහන් කර සිටියේය.

දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල මෙම පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ජූලි මස 03 වනදා  කැඳවන ලෙස නියම කළේය.

පුවත්

මීළඟ පියවර ගැන IMF මතක් කරයි

Published

on

By

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් IMF විස්තීරණ ණය පහසුකම් වැඩසටහනේ සිව්වන සමාලෝචනයට අදාළ කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාවයට කඩිනමින් ළඟාවීමට අපේක්ෂා කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

එහි සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ජුලි කොසැක් (Julie Kozack) පෙන්වා දෙන්නේ ඒ සඳහා ශ්‍රී ලංකාව විසින් IMF එකඟතා සම්පූර්ණ කළ යුතුව ඇති බවය.

ඇය මේ බව සඳහන් කළේ සති පතා පැවැත්වෙන IMF තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේදීය.

අදාළ කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාවයට එළඹීම සඳහා ශ්‍රී ලංකාව විසින් සම්පූර්ණ කළ යුතු ප්‍රධාන කරුණු 2ක් අවධාරණය කරන ජුලි කොසැක් වැඩිදුරටත් සඳහන් කරන්නේ, පිරිවැය ආවරණය වන විදුලිය මිලකරණය නැවත ස්ථාපිත කිරීම සහ ස්වයංක්‍රීය විදුලි මිල ගැළපුම් යාන්ත්‍රණයේ නිසි ක්‍රියාකාරිත්වය සහතික කිරීමට ශ්‍රී ලංකා රජය කඩිනමින් කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරන බවය.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

වැඩබලන විගණකාධිපතිට සේවා දිගුවක්

Published

on

By

වැඩබලන විගණකාධිපති වශයෙන් කටයුතු කරන ජී.එච්.ඩී. ධර්මපාල මහතාට මාස 6ක සේවා දිගුවක් ලබාදීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිවී තිබේ.

ඊයේ (22) පස්වරුවේ රැස්වූ ව්‍යවස්ථා සභාව විසින් ජනාධිපතිවරයාගේ යෝජනාවට මෙම අනුමැතිය ලබාදෙන ලදී.

හිටපු විගණකාධිපතිවරයා විශ්‍රාම යෑමෙන් පසු එම තනතුර මේ වනවිට දින 44ක් පුරප්පාඩුව පවතී.

නව විගණකාධිපති සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් යෝජනා කරනු ලැබූ නමට ව්‍යවස්ථා සභාවේ එකඟතාවය හිමි නොවීය.

එබැවින් වැඩබලන විගණකාධිපතිවරයා ලෙස කටයුතු කරන ජී.එච්.ඩී. ධර්මපාල මහතාට මාස හයක සේවා දිගුවක් ලබාදීම සඳහා ව්‍යවස්ථා සභාව වෙත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් කරනු ලැබූ යෝජනාවට මෙලෙස අනුමැතිය හිමිවී ඇත.

Continue Reading

පුවත්

පළාත් කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි

Published

on

By

අද (23) බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එමෙන්ම ඌව පළාතෙත් අම්පාර, මඩකළපුව සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර, දිවයිනේ සෙසු ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇති විය හැකිය.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු- මැද, වයඹ සහ දකුණු පළාත්වලත්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved