පුවත්

කෙහෙළියගේ නිල නිවසේ කුලිය මන්ත්‍රී වැටුපෙන් කපා ගන්න කියයි

Published

on

මධ්‍යම පළාත් සභාවේ මහනුවර නිල නිවස සඳහා කුලිය  තම මන්ත්‍රී වැටුපෙන් කපා  ගැනීමට  කැමැත්ත පළ කරමින්   හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පාර්ලිමේන්තු මහ ලේකම්වරියට  ලිපියක්  එවා තිබේ.

අරගලය අවස්ථාවේදී  කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ නිවස ගිනි තබා විනාශ කිරීමෙන් පසු ඔහුට  තාවකාලිකව කුලී පදනම මත රැඳී සිටීම සඳහා  රජය විසින් මහනුවර මලබාර් වීදියේ  මධ්‍යම පළාත් මහ අමාත්‍ය නිල නිවස දෙන ලදී.

එම  නිවස ලබාදී තිබුණේ  මාසික මන්ත්‍රී වැටුපෙන් 10%ක මුදලක් අයකර ගැනීමේ ගිවිසුමක් මතය.

රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය අමාත්‍ය ධූරයේ සහ පරිසර අමාත්‍ය ධූරයේ සිටි කාලය තුළදී එම අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ මාර්ගයෙන් අදාල මුදල් මධ්‍යම පළාත් සභාවට ලැබී තිබුණද  ඔහු රිමාන්ඩ් බන්ධනාගාර ගතවීමෙන් පසු එම මුදල් ලැබීම නතර වී තිබිණ.

ඒ අනුව මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍යාංශය විසින් එම මුදල අය කර දෙන ලෙස පාර්ලිමේන්තුවේදී  මහ ලේකම්වරියගෙන් පසුගියදා ඉල්ලීමක් කරන ලදී. එම අවස්ථාවේදී ලේකම්වරිය පැවසුවේ මාදිවෙල  මන්ත්‍රී නිල නිවාස වලින් මුදල් අය කර ගැනීමේ බලයක් ඇතත් පිටස්තර නිවාස වෙනුවෙන් මුදල් අය කර ගැනීමේ බලයක් තමාට නැති බවය.

කෙසේ වෙතත් මුදල්  අය කර ගැනීමට මන්ත්‍රීවරයා කැමැත්ත පළ කර පළ කර ලිපියක් ලබා දෙන්නේ නම් මුදල් අය කළ හැකි බවද මහා ලේකම්වරිය විසින් ඒ අවස්ථාවේදී දැනුම් දී ඇත.

Trending

Exit mobile version