පුවත්

කෙහෙළියගේ විශ්වාසභංගයට කලින් අමරවීර හා විදුර රටයන්න ගිහින්

Published

on

සෞඛ්‍ය ඇමැති ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව විපක්ෂය ගෙන එන විශ්වාස භංග යෝජනාව පිළිබඳ විවාදය පාර්ලිමේන්තුවේදී අද (06) ආරම්භ කෙරේ.

අද, හෙට (07) සහ අනිද්දා (08) ලෙස දින තුනක් විවාදය පැවැත්වෙන අතර විපක්ෂ මන්ත්‍රීවරයෙක් එම යෝජනාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි. 

මේ වන විට සෞඛ්‍ය ක්ෂේත්‍රය දැඩි පිරිහීමකට ලක්වී ඇති බැවින් මෙම විශ්වාසභංග යෝජනාව ගෙන එන අතර රජයේ රෝහල්වලින් ලබා ගත් ප්‍රමිතියෙන් තොර ඖෂධ හේතුවෙන් මියගිය කිහිප දෙනකුගේ පවුල්වල සාමාජිකයන් ද මෙම විවාදය නැරඹීමට අද පාර්ලිමේන්තුවට කැඳවා තිබෙන බව සමගි ජන බලවේගය කියයි.

මීට අමතරව සෞඛ්‍ය ඇමැතිවරයාට එරෙහිව අත්සන් කළ ජනතා පෙත්සම ද සජබය විසින් පාර්ලිමේන්තුව වෙත භාර දීමට නියමිත බව ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතා කියා සිටී.

මෙය ජයග්‍රහණය කරවීමට විපක්ෂය ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් සමග ද සාකච්ඡා කර ඇති බව පැවසේ.

මේ අතර, විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනෙන බැවින් ආණ්ඩු පක්ෂයේ සියලුම මැති ඇමැතිවරුන්ට පාර්ලිමේන්තුවට පැමිණීම අනිවාර්ය කර තිබේ.

විශ්වාස භංග යෝජනාව සම්බන්ධයෙන් ඡන්ද විමසීම අනිද්දා පස්වරුවේ සිදු කෙරේ.

කෙසේවුවද, මේ කාලය තුළ විදුර වික්‍රමනායක සහ මහින්ද අමරවීර යන අමාත්‍යවරුන් විදේශගත වීමට අවසර ඉල්ලා ඇතත් එය ජනපතිවරයා විසින් ප්‍රතික්ෂේප කර ඇතැයි ද වාර්තා ‌වේ.

ඔවුන් මේ ඉල්ලීම කරනු ලබුවේ අදාළ විශ්වාස භංගය මගහැරීමට බවටද රාවයක් දේශපාලන ක්ෂ‌ේත්‍රයේ පැතිර ඇත.

Trending

Exit mobile version