Connect with us

පුවත්

කෙහෙළියගේ සම්බන්ධීකරණ ලේකම් රිමාන්ඩ්

Published

on

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ජනමාධ්‍ය සෞඛ්‍ය සහ පරිසර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිය පුද්ගලික කාර්ය මණ්ඩලයට පුද්ගලයින් 15 දෙනෙකු නාමිකව ඇතුළත් කොට රුපියල් ලක්ෂ අසූවකට අධික මුදලක් උපයා ගැනීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි කියන සිද්ධියකට අදාළව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු වන නිශාන්ත බණ්ඩාර බස්නායක නැමැත්නා ලබන 03 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය නියෝග කළාය.

අල්ලස් කොමිසම විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය හමුවට ඉදිරිපත් කෙරිණි.

අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සැකකරුට අයත් මහනුවර ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක ගිණුමක් පවතින බවත් එය හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ දියණිය වන අමාලි රඹුක්වැල්ල විසින් භාවිතා කර ඇති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇතැයි සඳහන් කළේය.

මෙම ගිණුමට අමාත්‍යාංශ අරමුදල් බැරවී ඇති අතර ඒවා සැකකරුගේ අනු දැනුම මත අමාත්‍යවරයාගේ දියණිය විසින් භාවිතා කොට ඇති බවට කරුණු අනාවරණය වී ඇති බවත් අල්ලස් කොමිසමේ නිලධාරීහු සඳහන් කළහ.

විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයේ කරුණු දක්වමින් තම සේවාදායකයාට අදාළ බැංකු ගිණුම හිමි වුවද එය භාවිතා කළේ අමාත්‍යවරයාගේ දියණිය බව සඳහන් කළේය.

එම ගිණුමට පෞද්ගලික පාර්ශවයන්ගෙන් මුදල් බැර වී තිබෙන බව පිළිගන්නා නමුත් අමාත්‍යංශ අරමුදල් ඊට බැරවී නොමැති බවත් නීතිඥවරයා ප්‍රකාශ කළේය.

මෙම ගිණුමට අදාළ ගනුදෙනු සිදුවී තිබෙන්නේ තම සේවාදායකයාගේ අනුදැනුමකින් තොරව වන අතර ඔහු ස්වේච්ඡාවෙන්ම අල්ලස් කොමිසමට ගොස් ප්‍රකාශයක් ලබා දී ඇති නිසා ඔහු ඇපමත මුදාහරින ලෙසත් එම නීතිඥවරයා වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එහෙත් එම කරුණු ප්‍රතික්ෂේප කළ අල්ලස් කොමිසමේ නිලධාරීන් අදාළ මුදල් මෙම ගිණුමට බැර වී තිබෙන්නේ සැකකරුගේ පූර්ණ අනුදැනුම මත බව සඳහන් කළේය.

අදාළ ගිණුමට මුදල් තැන්පත් කිරීම හා ආපසු ගැනීම් පිළිබඳ කෙටි පණිවිඩ සියල්ල ලැබී තිබෙන්නේ මෙම සැකකරුගේ ජංගම දුරකථනයට බවත් එබැවින් එම ගනුදෙනු පිළිබඳව තමන් නොදන්නා බවට සැකකරු විසින් දරන ස්ථාවරය පිළිගත නොහැකි බවත් අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණය හමුවේ පැවසුවේය.

ඒ අනුව විමර්ශන කටයුතු තවමත් අවසන් වී නොමැති හෙයින් සැකකරු ඇප මත මුදාහරිනු ලැබුවොත් සාක්ෂිකරුවන්ට බලපෑම් සිදුවිය හැකි නිසා සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ඉල්ලා සිටියේය.

ඒ අනුව කරුණු සළකා බැලූ මහසේත්‍රාත්වරිය සැකකරු ලබන තුන්වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කළාය.

පුවත්

මේ නිවේදනය මෙවර සරසවි වරම්ලත් සිසුන්ට…

Published

on

By

2024 වර්ෂයේ අ.පො.ස.(උසස් පෙළ) සමත් සිසුන් 2024/2025 අධ්‍යයන වර්ෂය සඳහා ජාතික විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගැනීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් අයදුම්පත් කැඳවීම මේ දිනවල සිදුකරනු ලැබේ.

ඒ අනුව, 2024 උසස් පෙළ මත විශ්වවිද්‍යාල ප්‍රවේශයට අයදුම්කිරීම 2025 මැයි මස 30 වන දින මධ්‍යම රාත්‍රියෙන් අවසාන බව විශ්වවිද්‍යාල  ප්‍රතිපාදන කොමිෂන් සභාව දැනුම් දී තිබේ.

හැකි සෑම සිසුවෙකුටම අන්තර්ජාලය මඟින් අයදුම්පත යොමුකරන ලෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව දැනුම් දී ඇත.

www.ugc.ac.lk නිල වෙබ් අඩවියට පිවිස සිය අයදුම්පත යොමුකළ හැකි බව විශ්වවිද්‍යාල  ප්‍රතිපාදන කොමිෂන් සභාව දැනුම් දී තිබේ.

Continue Reading

පුවත්

පාස්පෝට් කාර්යාලයේ චෝදනා ලත් සහකාර  පාලකවරයා රිමාන්ඩ්

Published

on

By

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ සහකාර පාලකවරයා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේ සැකකරුව ලබන 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසය.

සංවිධානාත්මක අපරාධකරුවෙක් වන ඩුබායි හී සැඟව සිටින කෙහෙල්බද්දර පද්මේ නැමැත්තාට ගුවන් ගමන් බලපත්‍ර සෑදිමේ චෝදනාව මත ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සහකාර පාලකවරයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණි.

Continue Reading

පුවත්

මර්වින්ට අධිචෝදනා

Published

on

By

සිය නිත්‍යානුකූල ආදායම අබිභවා රුපියල් කෝටි ගණනක දේපොළ, යාන වාහන සහ බැංකු ගිණුම් පවත්වාගෙන යාම තුළින් අල්ලස් පනත යටතේ වරදක් කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු කම්කරු හා මහජන සම්බන්ධතා අමාත්‍ය  මර්වින් සිල්වා මහතාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබේ.

අල්ලස් කොමිසම සඳහන් කරන්නේ, 2010 වසරේ මාර්තු මස 31 වනදා සහ 2012 වසරේ මාර්තු මස 31 වනදා අතර කාලසීමාව තුළ විත්තිකාර හිටපු අමාත්‍යවරයා මෙම වරද සිදුකර ඇති බවය.

ඒ අනුව කඩවත ප්‍රදේශයේ ඉඩමක් මිලදී ගැනීම සඳහා එක්කෝටි 39 ලක්ෂ අනූනව දාහක මුදලක් වැය කර ඇති අතර කොළඹ -07 අර්නස්ට් ද සිල්වා මාවතේ ඉඩමක් මිලදී ගැනීම සඳහා හත් කෝටි දහතුන් ලක්ෂ අනූ නව දහසක මුදලක් හිටපු අමාත්‍යවරයා විසින් වැයකර තිබෙන බවත් අල්ලස් කොමිසම ඉදිරිපත් කළ චෝදනාවල සඳහන් වේ.

ඊට අමතරව සිය පුත් මාලක සිල්වා වෙනුවෙන් mercedes benz රථයක් මිලදී ගැනීම සඳහා තුන්කෝටි 23 ලක්ෂ 75000 ක මුදලක් වැය කර ඇති බවත් හයි හුන්ඩායි මෝටර් රථයක් මිලදී ගැනීම සඳහා රුපියල් ලක්ෂ 55 කට අධික මුදලක් සහ ඩිෆෙන්ඩර් රථයක් මිලදී ගැනීම සඳහා අසූ අට ලක්ෂ පනස්දහසක මුදලක් වැය කිරීම ඇතුළු සිය නීත්‍යානුකූල ආදායම අභිබවා දේපළ අත්පත් කර ගැනීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදුකළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබේ.

මෙම නඩුව තුළින් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාට එරෙහිව එල්ල කර තිබෙන චෝදනා සංඛ්‍යාව දෙකකි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved