Connect with us

පුවත්

කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ් (Update)

Published

on

අල්ලස් කොමිසම විසින් ‘දූෂණය’ නැමැති වරද සිදු කළේ යැයි සැකපිට පැමිණිලි තුනකට අදාළව අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ලබන 20වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය අද (07) නියෝග කළාය. 

අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් මෙම සැකකාර හිටපු අමාත්‍යවරයා අද සවස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදුන්නේය.

අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් 2021 වසරේ සිට 2023 වසර දක්වා කාලසීමාව තුළ මෙම සැකකරු ජනමාධ්‍ය, සෞඛ්‍ය හා පාරිසරික අමාත්‍යවරයා වශයෙන් කටයුතු කර තිබෙන බව සඳහන් කළේය.

එම අවස්ථාවේදී තම පෞද්ගලික කාර්ය මණ්ඩලයේ සේවය කළ දෙදෙනෙකුට පිළිමතලාව ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික බැංකුවක ගිණුමක් විවෘත කරන ලෙස මෙම සැකකරු විසින් උපදෙස් ලබා දී ඇති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇතැයි එම නිලධාරීන් පැවසීය.

පසුව පුද්ගලයින් පස් දෙනෙකුගේ නම් නාමිකව සිය පුද්ගලික කාර්ය මණ්ඩලයට ඇතුළත් කර ඔවුන්ට ලැබෙන වැටුප්, දීමනා හා අතිකාල දීමනා මෙම සැකකරුගේ උපදෙස් මත  පිළිමතලාව ප්‍රදේශයේ අදාළ පෞද්ගලික බැංකුවක විවෘත කරන ලද ගිණුමට යොමුකර ඇති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇත.

පසුව  මහනුවර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් 15 දෙනෙකුගේ ගිණුම්වලට මුදල් ප්‍රේක්ෂණය කරන ලෙස මෙම සැකකරුගේ උපදෙස් මත පිළිමතලාව බැංකු ශාඛාවට ස්ථාවර නියෝග ලබාදී ඇති බවත් අල්ලස් කොමිසමේ නිලධාරීන් පැවසීය.

මෙසේ මුදල් ලබාගත් මහනුවර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් සැකකරුගේ ආධාරකරුවන් මෙන්ම හිතවතුන් බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇතැයි සඳහන් කළ අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් සඳහන් කර සිටියේ මේ ආකාරයෙන් අදාළ ගිණුමේ මුදල් ලබාගෙන මෙම සැකකරු සිය ජල බිල්පත් හා විදුලි බිල්පත් ගෙවා ඇති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇති බවය.

හිටපු අමාත්‍යවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයට නාමිකව ඇතුළත් කරන ලද පුද්ගලයින් පස්දෙනා කැඳවා ප්‍රශ්න කළ බවත් තමන් සැකකරු අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ එවැනි රැකියාවක් කර නොමැති බව ප්‍රකාශ කළ අතර එවැන්නක් තමන් දැන ගත්තේ අල්ලස් කොමිසම විසින් කැඳවා ප්‍රශ්න කළ අවස්ථාවේදී බව එම පුද්ගලයින් විසින් ප්‍රකාශ ලබාදෙමින් සඳහන් කළ බවද එම නිලධාරීන් සඳහන් කළේය.

මෙම ක්‍රියාව තුළින් සැකකාර හිටපු අමාත්‍යවරයා රුපියල් 8,058,814කට අධික මුදලක් රජයට පාඩු සිදු කරමින් දූෂණය නැමැති වරද සිදුකර ඇතැයි සඳහන් කළ අල්ලස් කොමිසමේ නිලධාරීන්, මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් කර නොමැති හෙයින් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ඉල්ලීමක් කළේය. 

සැකකාර හිටපු අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම පෞද්ගලික කාර්ය මණ්ඩලය සඳහා සේවකයින් බඳවා ගැනීමට අමාත්‍යවරයෙකුට බලය තිබෙන බවත්, එසේ බඳවා ගන්නා සේවකයින් අමාත්‍යංශයට වාර්තා කළ යුතු බවට නීතියක් නොමැති බවත් කියා සිටියේය.

ඇතැම් පෞද්ගලික කාර්ය මණ්ඩල සේවකයින් අමාත්‍යවරයාගේ දේශපාලන බල ප්‍රදේශයේ සේවයට යොදවන බවත් මෙම සිද්ධියට සම්බන්ධ මුදල් කිසිදු අවස්ථාවක තම සේවාදායකයාගේ ගිණුමට බැර වී නොමැති බවත් ජනාධිපති නීතිඥවරයා පැවසීය.

එමෙන්ම මෙම මුදල් සැකකරු විසින් ලබාගෙන නොමැති අතර අල්ලස් කොමිසම විසින් තම සේවා දායකයා හිරිහැරයට පත් කිරීම සඳහා මෙවැනි නඩු ඉදිරිපත් කරන බවත් ජනාධිපති නීතිඥවරයා චෝදනා කළේය.

තම සේවාදායකයා 2015 වසරේ සිට අධිකරණයට පැමිණෙන බවත් කිසිදු අවස්ථාවක ඔහු අධිකරණය මගහැරීම හෝ සාක්ෂිකරුවන්ට තර්ජනය කිරීමක් සිදුකර නොමැති නිසා මෙම සැකකරු ඇපමත මුදා හරින ලෙසත් ජනාධිපති නීතීඥ වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.  

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය විසින් සැකකරු ලබන 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ අතර එදින විමර්ශන අවසන් කර කරුණු ඉදිරිපත් කරන ලෙසත් අල්ලස් කොමිසමට නියම කරන ලදී.


(පෙර පුවත 2025 මැයි 07 ප.ව.3:37)

කෙහෙළිය අත්අඩංගුවට

හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු අද (07) එම කොමිසම හමුවට පැමිණි අවස්ථාවේදීය.

අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍යවරයා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

පුවත්

අන්තර්ජාල සේවා සඳහා VAT බද්දක්

Published

on

By

අන්තර්ජාලය ඔස්සේ විවිධ සේවා සපයමින් ආදායම් උපයන පුද්ගලයින්ට ද එකතු කළ අගය මත බද්ද අය කිරීමට රජය තීරණය කර තිබේ.

ඒ සදහා වන අති විශේෂ ගැසට් නිවේදනය දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරියගේ අත්සනින් පසුගියදා නිකුත් කළ අතර ඒ අනුව එම සේවා සැපයීම්වලට අදාළව 18%ක එකතු කළ අගය මත බද්ද අය කිරීමට නියමිතය.

ඔක්තෝබර් මස පළමු වැනිදා සිට එම බදු අය කිරීම ක්‍රියාත්මක වේ.

අන්තර්ජාලය ඔස්සේ විවිධ සේවා සපයමින් ඩොලර් ආදායම් උපයන පුද්ගලයින් සඳහා බදු අය කිරීමේ රජයේ සූදානම සම්බන්ධයෙන් පසුගිය දිනවල දැඩි කතා බහක් ඇතිවිය.

එවැනි පසුබිමක දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් රුක්දේවි හිමාලි ප්‍රනාන්දු මහත්මිය පසුගිය පළමු වැනිදා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, විදේශයක සිටින තැනැත්තෙකු මෙරට සිටින තැනැත්තෙකුට ඉලෙක්ට්‍රොනික වේදිකාවක් හරහා සේවා සැපයීමේදී එම සේවා සැපයීම්වලට අදාළව එකතු කළ අගය මත බදු ගණනය කිරීම ඔක්තෝබර් පළමු වැනිදා සිට ක්‍රියාත්මක වන බවය.

ඒ අනුව සියයට 18% ක එකතු කළ අගය මත බද්ද මේ සඳහා ද අය කෙරෙනු ඇත.

මෙම ගැසට් නිවේදනයේ එමෙන්ම මෙම බදු අයකිරීම් අදාළ සේවාවන් ද දක්වා තිබේ.

සේවාවක් ලෙස මෘදුකාංග සැපයීම, මාර්ගගත වෙළෙඳසැල්, ඩිජිටල් අලෙවිකරණය සහ වෙළෙඳ ප්‍රචාරණය, සයිබර් ආරක්ෂණ සේවා, තොරතුරු තාක්ෂණ සහය සහ කළමණාකරණය කළ සේවා, වීඩියෝ, සංගීතය මෙන්ම සජීවී අන්තර්ගතයන් සහිත වේදිකා, මාර්ගගත බැංකුකරණය, සමාජ මාධ්‍ය වේදිකා, ඉල්ලුම මත සේවා සැපයීමේ වේදිකා, වෙළෙඳපොළ වේදිකා, සූදූ ක්‍රීඩා වේදිකා, හෝටල් වෙන් කිරීම් මෙන්ම ටිකට්පත් වෙන් කරවා ගැනීම් සඳහා යෙදවුම් භාවිතයේදී ද ඔක්තෝබර් පළමු වැනිදා සිට එකතු කළ අගය මත බද්ද අය කිරීමට නියමිතය.

එමෙන්ම ගැසට් පත්‍රයේ සඳහන් කර නොමැති වුව ද විදේශයක සිටින තැනැත්තෙකු ඉලෙක්ට්‍රොනික වේදිකාවක් හරහා ශ්‍රී ලංකාවේ සිටින තැනැත්තෙකුට සපයන ඕනෑම සේවවාක් මෙම වැට් බද්දට අයත් වන බව ද එහි සඳහන්ය.

මෙම ගැසට් නිවේදනයේ එකතු කළ අගය මත බද්ද සඳහා ලියාපදිංචි වීමට සපුරාලිය යුතු අවශ්‍යතා ද දක්වා තිබේ.

ඒ අනුව එකතු කළ අගය මත බද්ද සඳහා ලියාපදිංචි වීමට ප්‍රථම විදේශයක සිටින නැතහොත් නිර්වාසික තැනැත්තෙකු බදු ගෙවන්නා හදුනා ගැනීමේ TIN අංකයක් ලබා ගත යුතුය.

ගෙවුණු වසරක කාලසීමාව තුළ සේවා සැපයුම් වටිනාකම රුපියල් මිලියන 60 ඉක්මවන හෝ පසුගිය මාස 3ක කාලසීමාව තුළ රුපියල් මිලියන 15ක සීමාව ඉක්මවන නිර්වාසික තැනැත්තෙකු එකතු කළ අගය මත බදු පනතට අනුව ලියාපදිංචි වීමට බැඳී සිටින බව ද එම ගැසට් නිවේදනයේ සඳහන්ය.

Continue Reading

පුවත්

අත්අංගුවට ගත් විශේෂඥ වෛද්‍ය මහේෂිගේ දියණිය රිමාන්ඩ් (UPDATE)

Published

on

By

අල්ලස් කොමිසමේ නිලධාරින්ට මරණීය තර්ජන එල්ල කළේ යැයි කෙසෙල් වත්ත පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන, මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍ය මහේශී විජේරත්නගේ දියණිය වන හේමාලි විජේරත්න යන අය ජුලි 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

මෙකී සැකකාරියගේ මානසික තත්ත්වය පිළිබඳව පරීක්ෂා කර වාර්තාවක් ලබාදීමට පියවර ගන්නා ලෙසද මහේස්ත්‍රාත්වරිය විසින් බන්ධනාගාර නිලධාරීන්ට නියම කර ඇති බව ද ආරංචි මාර්ග සඳහන් කරයි.

කෙසෙල් වත්ත පොලිසිය මඟින් අත්අඩංගුවට ගත් මෙම සැකකාරිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග හමුවට අද (7) ඉදිරිපත් කෙරුණි.


(පෙර පුවත 2025 ජුලි 07 ප.ව.12.14 )

වෛද්‍ය මහේෂි විජේරත්නගේ දියණිය අත්අඩංගුවට

ජයවර්ධනපුර රෝහලේ සිද්ධිය සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින, වෛද්‍ය මහේෂි විජේරත්නගේ දියණිය ද අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

පසුගියදා අල්ලස් කොමිසමේ නිලධාරිනියකට තර්ජනය කිරීමේ සිද්ධියකට අදාළව ඇය මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වේ.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

KDU සිසුන් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම ගැන තීරණයක්

Published

on

By

ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය හැදෑරීම සඳහා දේශීය සිසුන් ඇතුලත් කර නොගැනීමට ගෙන තිබෙන තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා  සිසුන් පිරිසක් විසින් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සමථයට පත් කළ හැකි බව දෙපාර්ශවයේ නීතිඥවරු අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.

මෙම පෙත්සම අද (07) අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු, මහින්ද සමය වර්ධන සහ මේනකා විජේසුන්දර යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියෙහි කැඳවනු ලැබූහ.

එහිදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ හෆිල් ෆාරිස් මහතා අධිකරණය හමුවේ කියා සිටියේ මෙම නඩුකරය සමථයට පත් කිරීමට හැකියාව තිබෙන බවය.

අදාළ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය සඳහා දේශීය සිසුන්ට ද ඇතුළත් වීමට අවසර ලබා දෙමින්  වගඋත්තරකරුවන් විසින් නිවේදනයක් නිකුත් කර තිබෙන බව නීතිඥවරයා සඳහන් කළේය.

ඒ අනුව මෙම පෙත්සම සමථයට පත් කළ හැකි බවත් ඒ සම්බන්ධයෙන් තම සේවා දායකයින්ගෙන් ලිඛිත උපදෙස් ලබා ගෙන කරුණු දැක්වීම සඳහා දිනයක් ලබා දෙන ලෙසත් නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීමට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් නිර්මලන් විග්නේශ්වරන් මහතාද එකඟතාවය පළ කළේය.

ඒ අනුව මෙම පෙත්සම සමථයට පත් කිරීම සඳහා පෙත්සම්කරුවන්ගේ ලිඛිතව උපදෙස් ලබාගෙන දැක්වීම සඳහා ලබන 24 වනදා කැඳවන ලෙසත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියම කළහ.

ෆාතිමා අබ්දුල් ෆලීල්, දුලන්ක ද සිල්වා ඇතුළු සිසු සිසුවියන් පස් දෙනෙකු විසින් පෙත්සම ඉදිරිපත් කළ අතර එහි වගඋත්තරකරුවන් ලෙස  ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සනාතන සභාව ඇතුළු පිරිසක් නම් කර ඇත.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ තමන්  2025 /26 යන අධ්‍යයන වර්ෂ සඳහා ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා උපාධිය හැදෑරීම සඳහා බලාපොරොත්තුවෙන් සිටි බවය.

2024 වසරේදි අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණයකට අනුව දේශීය සිසුන්ට මුදල් ගෙවා  මෙම විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධි හැදෑරීමේ අවස්ථාව ලබාගත හැකි බව දැනුම් දී තිබූ අතර ඒ අනුව තමන් ද ඊට ඇතුළු වීමට බලාපොරොත්තුවෙන් සිටි බව පෙත්සම්කරුවෝ සඳහන් කළහ.

මේ අතර  ඉකුත් දා නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතා  පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදු කරමින් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධි හැදෑරීම සඳහා විදේශීය සිසුන් සහ ශිෂ්‍යභට නිලධාරීන් ලෙස බඳවාගන්නා සිසුන් හැර  දේශීය සිසුන් බදවා නොගන්නා බවට තීරණය කර ඇතැයි සඳහන් කර තිබූ බව පෙත්සම්කරුවෝ සඳහන් කළහ.

ඉන් අනතුරුව ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල වෙබ් අඩවිය තුලින් දේශීය සිසුන් වෛද්‍ය විද්‍යා උපාධිය සඳහා බදවා නොගන්නා බවට දැනුම් දීමක් සිදුකර තිබූ බවත් ඔවුන් චෝදනා කළේය.

මේ තුළින් අදාළ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය හැදෑරීමට අපේක්ෂාවෙන් සිටි තමන්ට දැඩි අසාධාරණයක් සිදුවන අතර මේ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

සබැඳි පුවත්

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved