Connect with us

පුවත්

කොක්කුතුඩුවායි මිනීවළෙන් තවත් මිනිස් අස්ථි කොටස් සමග පතුරම් උණ්ඩ දෙකක් හමුවෙයි

Published

on

දැනට පූර්ණ මිනිස් සිරුරක අස්ථි කොටස් මතුකර ගෙන ඇති අතර, අදාළ අස්ථි කූඩුව ආරක්ෂක අංශ භාවිතා කරන කැලෑ ඇඳුමකට සමාන ඇදුමකින් සැරසී සිට ඇතැ යි නිරීක්ෂණය වන බව කැණීම් නිලධාරීහු පවසති

මුලතිව් ප්‍රදේශයේ කොක්කුතුඩුවායිහි මිනිස් අස්ථි හමුවූ ස්ථානයෙන් තවත් මිනිස් අස්ථි කොටස් කිහිපයක් ඊයේ (සැප්. 07) මතුකර ගැනීමට හැකිවූ බව මුලතිව් රෝහල් විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී කනකසභාපති වාසුදේව ප්‍රකාශ කරයි.

කොක්කුතුඩුවායි මිනිස් අස්ථි කොටස් හමුවූ ස්ථානයේ දෙවැනි වරට කැණීම් ආරම්භ කිරීමෙන් පසු ගතවූ දෙවැනි දිනයේ දී මිනිස් අස්ථි කොටස් කිහිපයක් මතුකර ගැනීමට හැකිවූ බව ද විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා පැවසුවේ ය.

අස්ථි කොටස් හමුවූ ස්ථානයෙන් පතුරම් උණ්ඩයැ යි සැක කෙරෙන කොටස් දෙකක් ද හමුවී ඇති අතර, ඒ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පැවැත්වීමට නියමිත බව ද අධිකරණ වෛද්‍ය වාසුදේව ප්‍රකාශ කළේ ය.

පූර්ණ මිනිස් සිරුරක අස්ථි කොටස් දැනට මතුකර ගැනීමට හැකිව ඇති අතර, අදාළ අස්ථි කූඩුව ආරක්ෂක අංශ භාවිතා කරන කැලෑ ඇඳුමකට සමාන ඇඳුමකින් සැරසී සිට ඇති බව ද නිරීක්ෂණය වන බව කැණීම් නිලධාරීහු පවසති.

මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ, කොක්කුඩුවායි මිනිස් අස්ථි කොටස් හමුවූ ස්ථානය සම්බන්ධයෙන් දෙවැනි වරට කැණීම් කටයුතු පසුගිය හයවැනිදා නැවත ආරම්භ කෙරිණ.

මුලතිව් මහේස්ත්‍රාත් ධර්මලිංගම් ප්‍රදීපන්ගේ අධීක්ෂණයට යටතේ, පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව, මුලතිව් රෝහල් විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී කනසභාපති වාසුදේව, යාපනය රෝහල් අධිකරණ වෛද්‍ය එස්. පිරනවන් ඇතුළු කණ්ඩායමක් කැණීම් කටයුතු සිදුකරති.

කෝකිලායි පොලිස් නිලධාරීන්, පොලිස් විශේෂ කාර්ය බලකා බොම්බ නිශ්ක්‍රීය අංශය, පුරාවිද්‍ය නිලධාරීන්, පොලිස් අපරාධ ස්ථාන පරීක්ෂක නිලධාරීන් ඇතුළු කණ්ඩායම් රැසක් කැණීම් කටයුතු සඳහා සහයෝගය ලබාදෙයි.

මුලතිව් කොක්කුතුඩුවායි මිනිස් අස්ථි කොටස් හමුවු ස්ථානය සමූහ මිනිවළක් ද?

මේ අස්ථි කොටස් හමුවූ ස්ථානය මුලතිව් මහේස්ත්‍රාත් ටි. ප්‍රදීපන් සැප්තැම්බර් පස්වැනිදා සවස පරීක්ෂා කරනු ලැබීය. අස්ථි හමුවූ ස්ථානයේ ආරක්ෂිත ආවරණයක් ඉදිකිරීම ද එදින උදෑසන සිදුකෙරිණි.

විශේෂඥ කණ්ඩායමක් මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ අගොස්තු 10 වැනිදා අදාළ ස්ථානය පරීක්ෂා කළ අතර, එහි වාර්තාවක් අගෝස්තු 17 වැනිදා අධිකරණය වෙත ඉදිරිපත් කෙරිණි. අස්ථි කොටස් හමුවූ ස්ථානයේ කැණීම් නැවත ආරම්භ කරන ලෙස මුලතිව් මහේස්ත්‍රාත්වරයා අදාළ විශේෂඥ කමිටු වාර්තාව අනුව නියෝග කරනු ලැබුවේ ය.

මීට පෙර කොක්කුතුඩුවායි අස්ථි කොටස් හමුවූ ස්ථානයේ කැණීම් කටයුතු සිදුකිරීම මුලතිව් මහේස්ත්‍රාත් ටි. සරනවරාජාගේ අධීක්ෂණය යටතේ ජුලි 06 ආරම්භ කෙරිණ.

ජල සම්පාදන මණ්ඩල මුලතිව් දිස්ත්‍රික් කාර්යාල සේවකයින් පිරිසක් විසින් කොක්කුතුඩාවායි ප්‍රදේශයේ ජල නල එළීමකට කාණුවක් සකස් කිරීමේදී පළමු වරට ජුනි 29 වැනිදා අදාළ ස්ථානයේ දී අස්ථි කොටස් හමුවී තිබුණි.

අස්ථි කොටස් හමුවීම සම්බන්ධයෙන් මුලතිව්,කෝකිලායි පොලිසිය වෙත දැනුම්දීමෙන් අනතුරුව කෝකිලායි පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය දැනුවත් කළේය.

පොලිසියේ දැනුවත් කිරීම් අනුව මුලතිව් මහේස්ත්‍රාත් ටි.සරවනරාජා, අස්ථි කොටස් හමුවු ස්ථානය ජුනි 30 වැනිදා නිරීක්ෂණය කළ අතර, අදාළ ස්ථානයේ කැණීම් සිදුකරන ලෙසට නියෝග කළේය.

ඒ අනුව මුලතිව් මහේස්ත්‍රාත්වරයාගේ අධීක්ෂණය යටතේ,පොලිස් නිලධාරීන්,පොලිස් විශේෂ කාර්ය බලකා බෝම්බ නිශ්ක්‍රීය අංශය,පොලිස් අපරාධ පරීක්ෂණ නිලධාරීන්,පුරාවිද්‍ය නිලධාරීන්, යුද හමුදා සාමාජිකයින්,මුලතිව් දිස්ත්‍රික් අතුරුදහන්වූවන්ගේ ඥාතීන් හා අතුරුදහන්වූවන්ගේ ඥාතීන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ කණ්ඩායමක් ඉදිරියේ මෙදින කැණීම් කටයුතු ආරම්භ කෙරිණ.

සමූහ මිනිවළ තුළින් අස්ථි කොටස් හා කාන්තා ඇදුම් කොටස් හමුවීම

අදාළ ස්ථානය තුළින් මිනිස් අස්ථි කොටස් හා ඇඳුම් කොටස් කිහිපයක් මුලිකව නිරීක්ෂණය වන බව පොලිසිය පවසයි.

ආරක්ෂක අංශ විසින් යුද කටයුතු වෙනුවෙන් භාවිතා කරන කැළෑ ඇදුමට සමාන ඇදුම් කොටස් කිහිපයක් අස්ථි කොටස් හමුවු ස්ථානයේ නිරීක්ෂණය වන බවද පොලිසිය සඳහන් කළේය.

හමුදාවට භාරවීමෙන් අනතුරුව මියගිය එල්.ටී.ටී සාමාජිකාවන්ගේ සමූහ මිනිවළක්ද ?

සමූහ මිනිවළ යුද සමයේ ආරක්ෂක අංශ වෙත භාර වූ එල්.ටී.ටී සාමාජිකාවන්ගේ සමූහ මිනිවළක් විය හැකි බව අතුරුදහන්වූවන්ගේ ඥාතීන් හා මුලතිව් ජනතාව සැක කරන බව මුලතිව් දිස්ත්‍රික්කය නියෝජනය කරන උතුරු පළාත් සභා හිටපු මන්ත්‍රී ටි.රවිහරන් බීබීසී සිංහල සේවය වෙත පැවසීය.

“අස්ථි කොටස් හමුවු ස්ථානයේ කාන්තාවන්ගේ ඇදුම්වලට සමාන ඇදුම් කොටස් නිරීක්ෂණය වීම හරහා තමයි ජනතාවට ඒ සැකය ඇතිවෙලා තිබෙන්නේ. යුද්ධ කාලයේ 1984 අවුරුද්දේ ඉඳලා 2011,2012 විතර වෙනකම් ඔය පැත්තේ යුද හමුදාව ඇරෙන්න වෙන කවුරුවත් හිටියේ නෑ.ඒ කාලයේ ජන ශූන්‍ය ප්‍රදේශයක් තමයි කොක්කුතුඩුවායි ප්‍රදේශය.ඒ කාලයේ ඔය පැත්තේ සිදුවුණ දේ දන්නේ ආරක්ෂක අංශ විතරයි.”

“අවසන් යුද සමයේ ආරක්ෂක අංශ වෙත භාරදුන් එල්.ටී.ටී සාමාජිකාවන් බහුතරයක් දෙනා යුද්ධය නිමා වී වසර 14 ක් ගතවුවත් තවමත් අතුරුදහන් වෙලා ඉන්නවා.ඒ අයට සිද්ධවුණ දෙයක් තවමත් අභිරහසක්. යුධ සමයේ ආරක්ෂක අංශ වෙත භාරදුන් පිරිසක් අතුරුදහන්වෙලා ඉන්නවා,ඒ අය සොයාදෙන ලෙසට අතුරුදහන්වූවන්ගේ ඥාතීන් අවුරුදු ගණනාවක් පාරවල් අයිනේ උපවාස පවත්වනවා.ඒත් ඒ අය ගැන කිසිදු තොරතුරක් නෑ.” හිටපු මන්ත්‍රීවරයා පවසයි.

“මුලතිව් ජනතාව හිතන්නේ කොක්කුතුඩුවාය අස්ථි කොටස් හමුවු ස්ථානයේ සමූහ මිනිවළක් තියෙන්න පුළුවන් කියලා.එල්.ටී.ටී සාමාජිකාවන්ගේ සමූහ මිනිවළක් මෙතෙන තියෙන්න පුළුවන් කියලා අතුරුදහන්වූවන්ගේ ඥාතීන්ද සැක කරනවා.අද දවසේ කැනීම් ස්ථානයේ මමත් හිටියා.මිනිස් අස්ථි කොටස් 10 කට වැඩි ප්‍රමාණයක් දැක ගන්න පුළුවන් වුණා.තවත් තියෙයි කියලා හිතනවා.පොලිතීන් කෑලි වගේ දේවලුත් දැක ගන්න තියෙනවා.යුධ සමයේ ආරක්ෂක අංශ වෙත භාරවු විශාල පිරිසක් අතුරුදහන්වීම ගැටලුවක්.ඒ අය ගැන සොයා බලන්න රජය කටයුතු කරන්නේ නෑ.ඒ ගැන හොයන්න ජාත්‍යන්තර මැදිහත්වීමක් ඕනේ” හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

අතුරුදහන්වූවන්ගේ ඥාතීන්ගේ අදහස

වවුනියාව දිස්ත්‍රික් අතුරුදහන්වූවන්ගේ ඥාතීන්ගේ සංගමයේ සභාපති කේ.රාජ්කුමාර් කොක්කුතුඩුවායි සමූහ මිනිවළ සම්බන්ධයෙන් දැක්වූයේ මෙවන් අදහසකි.

“කොක්කුඩුවායි මිනිස් අස්ථි කොටස් හමුවු ස්ථානය සමූහ මිනිවළක් වෙන්න පුළුවන් කියලා තමයි අපි හිතන්නේ.මන්නාරමේත් මේ වගේ සමූහ මිනිවළවල් කීපයක් තිබිබා.ඒත් ඒ සමූහ මිනිවළවල් සම්බන්ධයෙන් නිශ්චිත තීරණයක් ලැබුණේ නෑ.කාබන් පරීක්ෂාව කළා කියලා රජය කිව්වා.ඒ අස්ථි කොටස් අවුරුදු 500 ක් විතර පරණ මිනිස් අස්ථි කොටස් කියලා කිව්වා.ඒ ගැන අපිට විශ්වාස නෑ.”

“මේ සමූහ මිනිවළ හා මන්නාරමේ හමුවු අස්ථි කොටස් ඩි.එන්. ඒ පරීක්ෂාවන්ට යොමු කරන්න ඕනේ.ඒ හරහා ස්ථිර පිළිතුරක් අපි බලාපොරොත්තු වෙනවා. මේ සමූහ මිනිවළවල් ගැන ජාත්‍යන්තර විශේෂඥයින් මැදිහත් කරගෙන පරීක්ෂණ පවත්වන්න ඕනේ.ඒ තුළින් සාධාරණ පිළිගැනීමක් ලබා ගන්න හැකියාව ලැබෙනවා.යුද සමයේ ආරක්ෂක අංශ වෙත භාරදුන් බහුතරයක් දෙනා තවමත් අතුරුදහන්.ඒ අය ගැන ස්ථිර පිළිතුරක් රජයෙන් ලැබෙන්නේ නෑ.අතුරුදහන් අය නැවත එයි කියලා අතුරුදහන්වූවන්ගේ දෙමාපියන්,ඥාතීන් බලාගෙන ඉන්නවා.මේ ප්‍රශ්නවලට විසදුම් ඕනේ” රාජ් කුමාර් බීබීසී සිංහල සේවය වෙත කියා සිටියේය.

මන්නාරම සමූහ මිනිවළ සම්බන්ධයෙන් නැවත සාකච්ජාවක්

මේ අතර මන්නාරම පැරණි සතොස ගොඩනැඟිල්ල පැවති ස්ථානයේ හමුවු සමූහ මිනිවළ සම්බන්ධයෙන් අතුරුදහන්වූවන්ගේ ඥාතීන් ගොනු කළ නඩු විභාගයක් (ජුලි 05) මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවිණි.

සමූහ මිනිවළ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වු අධීකරණ වෛද්‍ය නිලධාරීන්,පුරාවිද්‍යා නිලධාරීන්,රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තු නිලධාරීන්, අතුරුදහන්වූවන්ගේ ඥාතීන්, ආරක්ෂක අංශ නියෝජිතයින් ඇතුළු කණ්ඩායම් රැසක් නඩු විභාගය වෙනුවෙන් පැමිණ සිටියහ.

නඩු විභාගය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ වි.එස්.නිරංජන් පැවසූවේ මන්නාරම,පැරණි සතොස ගොඩනැඟිල්ල පැවති ස්ථානයෙන් හමුවු සමූහ මිනිවළ සම්බන්ධයෙන් නඩු විභාගය පැවැත්වු අතර,එහිදි ගොඩගත් අස්ථි කොටස්වල වර්තමාන තත්වය සහ සමූහ මිනිවළ සම්බන්ධයෙන් වන ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරයා විමසා සිටි බවයි.

නඩු විභාගය එළැඹෙන සැප්තැම්බර් 12 වැනිදා දක්වා නැවත කල් තැබීමට අධිකරණ නියෝග කළ බවද හෙට්‍ර්හෙම වැඩිදුරටත් අප වෙත පැවසීය.

මන්නාරම පැරණි සතොස ගොඩනැඟිල්ල පැවති ස්ථානයෙන් 2018 වසරේ දී මිනිස් අස්ථි කොටස් හමුවු අතර, සමූහ මිනිවළ තුළින් මිනිස් සිරුරු 376 කට අදාළ අස්ථි කොටස් එහිදී ගොඩගැනිණි.

 (බීබීසී සිංහල) 

පුවත්

ප්‍රදේශ කිහිපයකට වැසි 

Published

on

By

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.

යාපනය සහ මන්නාරම දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.

Continue Reading

පුවත්

IMF ණය පහසුකමේ 4 වැනි සමාලෝචනයට විධායක මණ්ඩලයේ අනුමැතිය

Published

on

By

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාව සඳහා වන මාස 48ක විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) විධිවිධානය යටතේ සිව්වන සමාලෝචනය ඊයේ (01) දින සම්පූර්ණ කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාවට වි.ගැ.හි. මිලියන 254ක්, එනම් එක්සත් ජනපද ඩොලර් මිලියන 350ක් පමණ වෙනුවෙන් ප්‍රවේශය හිමිවන අතර මේ දක්වා මෙම විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන යටතේ ලබා දී ඇති මුළු මූල්‍යාධාර ප්‍රමාණය ඩොලර් බිලියන 1.74ක් දක්වා ඉහළ යනු ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී එවන් පැපජෝජියෝ මහතා විසින් මේ බව නිවේදනය කර සිටී.

Continue Reading

පුවත්

රනිල් දේශපාලනයට වඩා රට ගැන හිතුවා – හිටපු මුදල් ලේකම්

Published

on

By

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලනයට වඩා රට ගැන සිතා කටයුතු කළ බවත්, ඔහු ගත් දැඩි තීන්දු නිසා රටේ ප්‍රගතිය ඉදිරියට කරගෙන යාමට හැකිවූ බවත් මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් මහින්ද සිරිවර්ධන මහතා කියයි.

දෙරණ 360 වැඩසටහනට සහභාගිවෙමින් ඔහු මේ බව කියා සිටියේය.

තමාට ගෝඨාභය රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ සහ අනුර කුමාර දිසානායක යන ජනාධිපතිවරුන් තිදෙනාගෙන් විශිෂ්ට සහයෝගයක් ලැබුණු බවද ඔහු පැවැසීය.

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා තමා විශ්වාස කර මුදල් අමාත්‍යාංශයේ ලේකම් ධුරය සඳහා පත්කළ බවත්, අප්‍රසිද්ධ චරිතයක්ව සිටි තමා එම තනතුරට පත් කිරීම පිළිබඳව හිටපු ජනාධිපතිවරයාට තමා ස්තූතිවන්ත බව බවත් ඔහු කීවේය.

රටේ බැරෑරුම් තත්ත්වයක් තිබියදී දේශපාලන නායකත්වය ලබා දුන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා බවත්, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සමග සේවය කිරීමේදී ඉතා විශිෂ්ට අත්දැකීම් තමාට ලබා ගැනීමට හැකිවූ බවත්, තීරණ ගැනීම සේම නායකත්වයේ ගුණාංග තමාට ඔහුගෙන් ඉගෙන ගැනීමට අවස්ථාව ලැබුණු බවත් හිටපු ලේකම්වරයා පැවැසීය.

රටවල් සමග ගනුදෙනු කිරීමේදී, ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැහැදිලි නායකත්වයක් ලබා දුන් බවද ඔහු පැවැසීය.

ආර්ථික කළමනාකරණය කිරීමේ ගමනේදී අඛණ්ඩතාවය රඳවා ගැනීමේදී අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ගත් තීරණවලට තමා ඉතාමත් ගරු කරන බවද හිටපු ලේකම්වරයා පැවැසුවේය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved