පුවත්

කොග්ගලදී බසයකට ගොඩවී කතකට වෙඩි තබයි

Published

on

අම්බලන්තොට සිට කොග්ගල්ල දෙසට ධාවනය වෙමින් තිබුණු මගී බස් රථයක් මදයමලන්ද ප්‍රදේශයේදී ඊයේ (07) සවස යතුරුපැදියකින් මඟ හරස් කර නතර කළ පුද්ගලයන් දෙදෙනකු එම බස් රථයට ගොඩවී එහි ගමන් කරමින් සිටි කාන්තාවකට වෙඩි තබා පලාගොස් ඇත. 

මේ වෙඩිතැබීම සිදුකර ඇත්තේ බස් රථයේ සිටි මගීන්ගේ කෑමොර අස්සේ අස්සේය.

අම්බලන්තොට කොග්ගල්ල, කඩවර පදිංචිකාරියක වන ලසන්තා රෝහිණී නමැති 47 හැවිරිදි කාන්තාවට මෙසේ වෙඩි තබා තිබිණි.

ගල්කටස් වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබීම කර ඇති බවත් හිසට එල්ල කර තැබූ වෙඩිල්ල වැදී ඇත්තේ ඇගේ දකුණු උරහිසට බවත් පොලිසිය කියයි.

බැරගම ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ ඇය වැඩිදුර ප්‍රතිකාර සඳහා අම්බලන්තොට මහ රෝහලට ඇතුළත් කර තිබිණ.

ගව සොරකමක් සම්බන්ධයෙන් ඇතිවුණු ආරවුලක් දුරදිග ගොස් පසුගිය ජූලි 18 වැනිදා රාත්‍රී කාලයේදී කොග්ගල්ලේ පිහිටි නිවෙසකට කඩාවැදී වෙඩි තබා පුද්ගලයකු ඝාතනය කිරීමක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටින ප්‍රධාන සැකකරු වන රොෂාන් නමැත්තාගේ මවට මෙසේ වෙඩි තබා ඇති බව පොලිසිය කියයි.

මෙම වෙඩි තැබීම සිදු වන විට එම කාන්තාවගේ 17 හැවිරිදි දියණිය ද කාන්තාවගේ නැඟණිය ද බස් රථයේ සිට ඇත.

17 හැවිරිදි දියණිය උපකාරක පන්තියකින් රැගෙන එමින් සිටියදී මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බව හම්බන්තොට හා මාතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති මහේෂ් සේනාරත්න මහතා කියා සිටී.

මෙම කාන්තාවගේ පුතා විසින් සිදු කළ ඝාතනය සම්බන්ධයෙන් වූ නඩුව ද ඊයේ (07) හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගෙන ඇති බව ද නියෝජ්‍ය පොලිස්පතිවරයා කීය.

මේව විට පොලිසිය වෙඩික්කරුවන් හඳුනාගෙන තිබේ.

ජූලි 18 වැනිදා ඝාතනය වූ පුද්ගලයාගේ බෑණා එක් සැකකරුවකු බවට හඳුනාගෙන ඇති බව ද නියෝජ්‍ය පොලිස්පති මහේෂ් සේනාරත්න මහතා පැවසීය. මාමාව ඝාතනය කිරීමට පළි ගැනීමක් ලෙස ඝාතකයාගේ මවට මෙසේ වෙඩි තබා ඇතැයි විමර්ශනවලින් පෙනී යන බව ද නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේය.

ජූලි 18 වැනිදා සිදු වූ ඝාතනය සම්බන්ධයෙන් පොලිසිය පැය කිහිපයක් ඇතුළත සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබිණි. 

එහිදී ඝාතනය වූයේ අමරකෝන් කංකානම්ගේ සිරිපාල (62) නමැති දෙදරු පියෙකි. විමර්ශනයේදී හෙළිවී තිබුණේ වෙඩික්කරුවන් පැමිණියේ මෙම පුද්ගලයාව ඝාතනය කිරීමට නොව, ඔහුගේ බෑණාව ඝාතනය කිරීමට බවය.

මූලාශ්‍රය – දිනමිණ

Trending

Exit mobile version