පුවත්

කොඩි වැලේ ඉඳන් වල වෙනකම් වැට්වලින් නිදහස්

Published

on

මුදල් අමාත්‍යාංශය විසින් කරන ලද සංශෝධන අනුව භූමදානය සහ ආදාහනයට සම්බන්ධ සේවා වැට් බද්දෙන් නිදහස් කර ඇතැයි ජනාධිපති ලේකම් කාර්යාලයේ රාජ්‍ය ආදායම් ඒකකයේ අධ්‍යක්ෂ කේ.කේ.අයි. එරන්ද මහතා කියයි.

ඒ මහතා මේ බව කියා සිටියේ ජනාධිපති කාර්යාලයේ වෘත්තිය සමිති සබඳතා අංශය මගින් සංවිධාන කරන 2024 අයවැය පිළිබඳ දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණ මාලාවේ 06 වන සම්මන්ත්‍රණය කොළඹ අරලියගහ මන්දිරයේදී ඊයේ (21) පැවැති අවස්ථාවේදීය.

ඊට අමතරව තවත භාණ්ඩ අයිතම 66 ක් වැට් බද්දෙන් නිදහස් කර ඇතැයි ද ඔහු පෙන්වා දුන්නේය.

ඒ අනුව, තිරිඟු, තිරිඟු පිටි, ළදරු කිරි පිටි, ඖෂධ නිෂ්පාදන, ඖෂධ වර්ග (සුවඳ විලවුන් හැර), පිරිපහදු නොකරන ලද ඛනිජ තෙල්, ගුවන් යානා ඉන්ධන, නැව් සඳහා භාවිත කරන තෙල්, කෘත්‍රිම අත්පා, කිහිලිකරු, රෝදපුටු ආදියද වැට් බද්දෙන් නිදහස්ය.

එමෙන්ම, ජෛව පොහොර, කෘෂිකාර්මික බීජ, ඉස්සන් සඳහා සහ කූනිස්සන් සඳහා යොදන ආහාර, රෙදි පිළි කර්මාන්තයට භාවිත කරන නූල් ආදියද වැට් බද්දෙන් නිදහස් කර තිබේ.

අධ්‍යාපන සේවා, පොදු මගී ප්‍රවාහන සේවා, විදුලි බලය, භූමදානය සහ ආදාහනයට සම්බන්ධ සේවා, ව්‍යහාර මුදල් හුවමාරුව, කල් බදු පහසුකම්, දේශීය වශයෙන් නිෂ්පාදිත සහල්, සහල් පිටි සහ පාන් ආදියද වැට් බද්දෙන් නිදහස් කර ඇත.

මීට පෙරදී වැට් බද්දෙන් නිදහස් කරන ලද භාණ්ඩ අයිතම 100 කට ආසන්න ප්‍රමාණයකට ලබන වසරේ (2024) ජනවාරි මස පළමුවැනිදා සිට වැට් බදු අය කෙරේ.

ඒ අනුව, ලොරි, ට්‍රක්, බස් රථ ඇතුළු සියලු වාහන, සූර්ය කෝෂ, විදුලි උපකරණ, පෙට්‍රල්, ඩීසල්, ගෑස්, රසායනික පොහොර, පොල් තෙල්, පොල් කිරි, ෆාම් ඔයිල්, ජංගම දුරකථන, ටයි පටි සහ බෝ, කුකුළු මස්, දියර කිරි, කිරි නිෂ්පාදන, බිත්තර, පෝෂ වර්ග , ඉස්සන්, පරිගණක සහ උපාංග, පොත්, සඟරා සහ ක්‍රීඩා උපකරණ යනාදියට පැවැති බදු සහනය ඉවත් කර ඇත.

එමෙන්ම, විශේෂ වෙළෙද භාණ්ඩ අයත්වන අර්තාපල්, රට ලූනු, රතු ලූනු, සුදු ලූනු, සහල්, සීනි, මිරිස්, හාල් මැස්සන්, උම්බලකඩ, කරවල, කුරක්කන්, උළුහාල්, උඳු, පරිප්පු, කව්පි, මෙනේරි, කොත්තමල්ලි, රට ඉඳි, මෑකරල්, මුං ඇට, බඩ ඉරිඟු, ඉදල් ඉරිඟු, ඇපල්, දොඩම් මිදි ඇතුළු පලතුරු, පොල් තෙල්, ෆාම් ඔයිල්, බටර් සහ යෝගට් ආනයනයේදී වැට් බදු අය නොකෙරේ.

Trending

Exit mobile version