පුවත්

කොළඹ නගරාධිපති පුටුව මාලිමාවට (UPDATE)

Published

on

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී කිසිදු පක්ෂයක් විසින් බහුතර බලයක් හිමි නොවූ කොළඹ මහ නගර සභාවේ බලය ජාතික ජන බලවේගයට හිමිවුණි.

ඒ අනුව ඡන්ද 61 ලබාගනිමින් ව්‍රායි කැලි බල්තසාර් මහත්මිය කොළඹ පුරපති ලෙස තේරී පත්වුණි.


(පෙර පුවත 2025 ජූනි 16 පෙ.ව.10.17 )

පුරපති සටනට සර්වජන බලයේ සහය විපක්ෂයට


සර්වජන බලවේගය කොළඹ මහ නගර සභාවේ, නගරාධිපති ධුරය සඳහා විපක්ෂය විසින් නම් කරන ලද අපේක්ෂකයාට සහාය දැක්වීමට තීරණය කර ඇත.

එහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී, ව්‍යවසායක දිලිත් ජයවීර මහතා සිය x ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ, පක්ෂ විධායක කමිටුව විසින් එම තීරණය ගත් බවය.


(පෙර පුවත 2025 ජූනි 16 පෙ.ව.10.00 )

කොළඹ මහ නගර සභාවේ මංගල රැස්වීම ඇරඹෙයි

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී කිසිදු පක්ෂයක් විසින් බහුතර බලයක් හිමි නොවූ කොළඹ මහ නගර සභාවේ මංගල රැස්වීම මේ වනවිට (16) ආරම්භ වී තිබේ.

ඒ බස්නාහිර පළාත් පාලන කොමසාරිස් සාරංගිකා ජයසුන්දර මහත්මියගේ ප්‍රධානත්වයෙනි.

නගරාධිපති තෝරා පත්කර ගැනීම සඳහා රහස් ඡන්දයක් අනුව සිදුකරන්නේ ද? නැතිනම් විවෘත ඡන්ද විමසීමක් පවත්වන්නේ ද යන්න සම්බන්ධයෙන් මේ වනවිට සභාවේ උණුසුම් තත්ත්වයක් හටගෙන ඇත.

මෙහිදී සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය විසින් විවෘත ඡන්දයක් ඉල්ලා සිටියේය.

ඊට අදාළ ගැසට් නිවේදනය පළාත් පාලන කොමසාරිස්වරිය විසින් පසුගියදා නිකුත් කළ අතර ඒ අනුව කොළඹ නගර ශාලාවේ පැවැත්වීමට නියමිත රැස්වීමේදී, නව නගරාධිපතිවරයා සහ උප නගරාධිපතිවරයා තෝරා පත් කර ගැනීම පළමු කාර්යය ලෙස සිදුකිරීමට නියමිතය.

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ප්‍රතිඵලවලට අනුව කොළඹ මහ නගර සභාවේ 117ක් වන සමස්ත සභික සංඛ්‍යාවෙන් සභික ධුර 48ක් ජාතික ජනබලවේගයට හිමි වූ අතර සමගි ජනබලවේගයට සභික ධුර 29ක් හිමිවුණි.

එක්සත් ජාතික පක්ෂයට සභික ධුර 13ක්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සභික ධුර 5ක් සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට සභික ධුර 4ක් සහ සර්වජන බලයට සභික ධුර 2ක් හිමි වු අතර සෙසු සභික ධුර සංඛ්‍යාව අනෙකුත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතර බෙදී ගියේය.

ඡන්ද ප්‍රතිඵලයට අනුව කිසිදු පක්ෂයක් විසින් සියයට 50 ඉක්මවූ බහුතර සභික සංඛ්‍යාවක් ලබානොගැනීම තුළ කොළඹ මහ නගර සභාවේ ප්‍රධානීන් පත් කරගැනීම සඳහා අද පැවැත්වෙන මංගල රැස්වීමේදී ඡන්ද විමසීමක් පැවැත්වීමට නියමිතය.


(පෙර පුවත 2025 ජූනි 16 පෙ.ව.7.17 )

කොළඹ පුරපති තේරීමේ ඡන්දය අද

කොළඹ මහා නගර සභාවේ මංගල රැස්වීම අද (16) පැවැත්වේ.

සභික ධුර 117කින් සමන්විත කොළඹ මහා නගර සභාවේ බලය පිහිටුවීම සඳහා කිසියම් පක්ෂයකට සභික ධුර 59ක් අවශ්‍ය වේ. කෙසේවෙතත්, පසුගියදා පැවති පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ දී සභික ධුර 48ක් ජාතික ජනබලවේගයට හිමි වූ අතර සමගි ජනබලවේගයට සභික ධුර 29ක් හිමිවුණි.

එක් දේශපාලන පක්ෂයකට හෝ ස්වාධීන කණ්ඩායමකට බහුතරය හිමි නොවීම හේතුවෙන් කොළඹ මහා නගර සභාවේ බලය පිහිටුවීමට අදාළව එහි මංගල රැස්වීම ජුනි 16 වැනිදා පැවැත්වෙන බව සඳහන් කරමින් බස්නාහිර පළාත් පාලන කොමසාරිස් සාරංගිකා කල්හාරි ජයසුන්දර පසුගියදා ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබුවාය.

ඒ අනුව අද පෙ.ව. 9.30ට කොළඹ මහා නගර ශාලාවේ පැවැත්වීමට නියමිත රැස්වීමේදී, එහි නව නගරාධිපතිවරයා සහ උප නගරාධිපතිවරයා තෝරා පත් කර ගැනීම පළමු කාර්යය ලෙස සිදුකිරීමට නියමිතය.

Trending

Exit mobile version