කොළඹ මහ නගර සහාවේ බලය පිහිටුවීම සඳහා ජාතික ජන බලවේගයට එරෙහි පාර්ශවයන්ගේ එකතුවෙන් සැදුම්ලත් පාලනයකට අවශ්‍ය සහාය ලබාදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහද් දැක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා,
“කොළඹ නගර සභාවේ බලය පිහිටුවීම සම්බන්ධයෙන් පක්ෂය හැටියට පෙනී යන්නේ පවතින ආණ්ඩුවට කොළඹ මහ නගර සභා බල සීමාව තුළ පදිංචි වී සිටින ජනතාවගෙන් අති බහුතරයක් කැමැත්ත ප්‍රකාශ කරලා නැහැ.
කොළඹ මහ නගර සභාවේ ජනතාව මාලිමාව ප්‍රතික්ෂේප කිරීමේ තත්ත්වයක් තුළ මාලිමාවට විරුද්ධ පාර්ශවයන්ගේ එකතුවෙන් සැදුම්ලත් පාලනයක් බිහිකිරීමට අවශ්‍ය සහායෝගය පක්ෂයක් හැටියට අපි ලබාදෙන්න කැමැතියි.”
මේ අතර කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධුරය සඳහා විපක්ෂයේ පොදු එකඟත්වය මත සමගි ජනබලවේගය විසින් තම පක්ෂයේ නියෝජිතයෙකු ඉදිරිපත් කරන බවත්, නියෝජ්‍ය නගරාධිපති ධුරය එක්සත් ජාතික පක්ෂයට ලබාදීමට එකඟත්වයකට පත්ව ඇති බවත්, සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පැවසීය.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ මෙසේය:
“පළාත් පාලන ආයතන ගණනාවකට කොමසාරිස්වරුන් විසින් බහුතර කැමැත්ත මත සභාපතිවරුන් සහ නගරාධිපතිවරුන් පත් කිරීමට යෝජනා කර ඇති අතර, අපි විශ්වාස කරනවා විපක්ෂයේ එක්සත් ප්‍රතිසංහිඳියාවක් සහිතව බහුතරයක් දිනාගත හැකි තත්ත්වයක් තිබෙනවා.
විශේෂයෙන්ම කොළඹ මහ නගර සභාව සම්බන්ධයෙන් බලය විපක්ෂයට හිමි වන අතර එම බහුතරය තුළ ස්වාධීන කණ්ඩායම්ද අන්තර්ගතය.
ආණ්ඩුව විවිධ වරදාන සහ වරප්‍රසාද ඔස්සේ සභිකයන්ගේ සහය ලබාගැනීමට උත්සාහ කරනවා. කෙසේවෙතත්, අපට දැඩි විශ්වාසයක් තියෙනවා සමගි ජනබලවේග නියෝජිතයෙකු නගරාධිපති ලෙස පත් කිරීමට හැකියාව ඇතැයි.
අප නගරාධිපතිධුරය සඳහා අපේ නාමයෝජිතයා ඉදිරියේදී නම් කරනවා. තවත් දින දෙකක් තුළ කණ්ඩායම රැස්වී පොදු එකඟතාවයකින් වැඩි කැමැත්තක් ඇති නියෝජිතයෙකු ඉදිරිපත් කරනවා. එක්සත් ජාතික පක්ෂය පැහැදිලිවම අපට සහය දැක්වූ පක්ෂය වන අතර, ඔවුන් නියෝජ්‍ය නගරාධිපති ධුරය බලාපොරොත්තු වනවා. ඔවුන් විපක්ෂයේ දෙවැනි විශාලතම පක්ෂය වන නිසා, එම ධුරය ඔවුන්ට ලබාදීමට අපි එකඟ වෙලා තියෙනවා.”