Connect with us

පුවත්

කොළඹ වරායට ස්වාභාවික මරණයක් අත්කරන්න සූදානමක්!

Published

on

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වර්තමාන පරිපාලන මෙරට ආර්ථිකයේ හදවත බදු කොළඹ වරායට ස්වාභාවික මරණයක් අත්කරදීමට කටයුතු කරමින් සිටින බවත් ඒ පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දැනුවත්ව සිටින්නේ දැයි සැකයක් ඇති බවත් වරාය වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානයේ සම කැඳවුම්කරු ශ්‍යාමාල් සුමනරත්න මහතා අද (5) පැවසීය.
වරාය අධිකාරියේ වර්තමාන පරිපාලන දුර්වලතා සහ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා වරාය වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය කොළඹදී අද (5) පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවේදී ශ්‍යාමාල් සුමනරත්න මහතා එසේ කීය.  

වර්තමාන ආණ්ඩුව යටතේ වරාය අධිකාරියේ පරිපාලනයක් නොමැතිව අයාලේ යන තත්වයක් උද්ගතවී ඇති බව කී සුමනරත්න මහතා මෙම තත්වය පිළිබඳව දැනුවත් කිරීම සඳහා වරාය විෂය භාර අමාත්‍ය බිමල් රත්නායක මහතාට සහ නියෝජ්‍ය අමාත්‍යවරයාට ලිපි 6 ක් යොමු කළ ද අවම වශයෙන් ලිපි ලැබුණ බවට හෝ කිසිඳු ප්‍රතිචාරයක් නොලැබුණු බව ද සඳහන් කළේය.

කොළඹ වරායේ නැගෙනහිර බහලු පර්යන්ථයේ ව්‍යාපෘති අධ්‍යක්‍ෂ ලෙස කටයුතු කළ වරාය අධිකාරියේ වර්තමාන කළමණාකාර අධ්‍යක්‍ෂවරයා එම තනතුරෙන් ඉවත්කිරීමට අමාත්‍යවරයා පසුගියදා ගත් තීරණය අගය කරන බවත් වරාය සහ නාවික කටයුතු පිළිබඳව හසල දැනුමත් තිබූ වරාය අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකයෙක් ඉවත්වීම පිළිබඳව ද අමාත්‍යවරයා අවදානය යොමුකළ යුතු බවත් ඒ මහතා කීය.

ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධ වෘත්තීය සමිතිය වරායේ එකම වෘත්තීය සමිතිය නොවන්නේ යැයි වරාය අමාත්‍ය බිමල් රත්නායක මහතා මතකයේ තබාගත යුතු බව කී සුමනරත්න මහතා ඩොලර් බිලියනයක් වැයකර ඉදිකළ නැගෙනහිර පර්යන්තය රැකගැනීමට දිවිහිමියෙන් කටයුතු කරන්නේ යැයි පාලකයන්ට මතක් කරන බව ද සඳහන් කළේය.  

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වර්තමාන කළමනාකාර අධ්‍යක්‍ෂවරයා ප්‍රමුඛ පරිපාලනය කොළඹ වරාය නැගෙනහිර බහලු පර්යන්තය මෙම මස 30 වැනිදා වන විට විවෘත කළ හැකි යැයි ජනාධිපති අනුර කුමාර මහතා රවටා ඇති බවත් එම පර්යන්ථය තවත් වසර එකහමාරකින්වත් විවෘත කළ නොහැකි බවත් ශ්‍යාමාල් සුමනරත්න මහතා කීය.

වරාය සේවකයන් දිවිහිමියෙන් රැකගත් නැගෙනහිර බහලු පර්යන්තයේ ඉදිකිරීම් නියමිත පරිදි ක්‍රියාත්මක කළේ නම් ලබන සැප්තැම්බර් මස වැඩ අවසන් කිරීමට නියමිතව තිබූ බව කී සුමනරත්න මහතා පැවසුවේ වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව පත්කළ වරාය අධිකාරියේ කළමණාකාර අධ්‍යක්‍ෂවරයා ප්‍රමුඛ පරිපාලනයේ ක්‍රියාකලාපය හේතුවෙන් මෙම තත්වය උදාවූ බවයි.

විජිත හේරත් මහතා වරාය ඇමතිවරයා ලෙස පත්කළ කළමණාකාර අධ්‍යක්‍ෂවරයා පරිපාලනය නිලධාරීන් මාරු කිරීම සහ ටෙන්ඩර් අවලංගු කිරීම ආදි පර්යන්තයේ ඉදිකිරීම් අඩපණ කිරීමට කළ කටයුතු හේතුවෙන් නැගෙනහිර පර්යන්ථය කටයුතු ආරම්භ කිරීමට තවත් වසර කීපයක් ගතවනු ඇති බවත් එසේ වුවහොත් නැව් සමාගම් කොළඹ වරාය අතහැර දැමීම වැලැක්විය නොහැකි බවත් ඒ මහතා කීය.

නැගෙනහිර බහලුම් පර්යන්ථයේ බහලුම් ක්‍රියාකාරකම් සඳහා අනිවාර්යෙන් තිබිය යුතු උපකරණ වන ‘ස්ට්‍රැඩල් කැරියර්’ මිලදීගැනීමට කැඳවා තිබූ ටෙන්ඩරය වර්තමාන පරිපාලනය පත්වීමෙන් පසුව අවලංගු කළ ද මේ දක්වා එම ටෙන්ඩරය කැඳවීමට හෝ කටයුතු කර නොමැති බව කී සුමනරත්න මහතා එම උපකරණය හිටිහැටිය ඇනවුම්කළ නොහැකි එකක් වීම නිසා එය ලබාගැනීමට අවම වශයෙන් දින 200 ක් ගතවනු ඇති බවත්ය.

නැගෙනහිර පර්යන්තය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පරිගණක පද්ධතිය, ප්‍රවාහන උපාංග, පුහුණු සේවකයන් බඳවා ගැනීම ඇතුළු බොහෝ දේ ඉටුකර නොමැති අතර කළමනාකාර අධ්‍යක්‍ෂවරයා වෙනස් කළේ යැයි කියන එම පර්යන්ථයේ මාර්ගයේ කටයුතු වරාය නියෝජ්‍ය අමාත්‍යවරයා පත්කළ කමිටුවක නිර්දේශයක් මත මේ වන විට නැවතී ඇති බව ද ඒ මහතා සඳහන් කළේය.

වර්තමාන ජාතික ජනබලවේග ආණ්ඩුව රජය බලයට ගෙන ඒමට ආණ්ඩුවට සහය දැක්වූ වෘත්තීය සමිතිය වරාය සේවකයන්ට බලාපොරොත්තු රැසක් දුන්න ද එම එකම පොරොන්දුවක් හෝ ඉටුකිරීමට ඔවුන් අපොහොසත්ව ඇති බවත් වරාය අධිකාරියේ පරිපාලනයට එරෙහිව හඩනඟන වෘත්තිය සමිති නායකයන් විවිධ ක්‍රමවලින් මර්ධනය කිරීමට සූදානම් වුවද ඒවා සාර්ථක නොවන බවත් ඒ මහතා කීය.

ජාතික සේවක සංගමයේ සභාපති තුෂාරි ප්‍රියංකා, නිදහස් සේවක සංගමයේ සභාපති ඉන්දික සමරවික්‍රම සහ එක්සත් සේවක සංගමයේ සභාපති ඩික්සන් ගෝමස් යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මෙම මාධ්‍ය හමුවට සහභාගි වූහ.

(ලංකාදීප)

පුවත්

ලංකාවට නො ආ රට හරක්ට ගෙවූ කෝටි 211 නිලධාරීන්ට ගෙවන්න නියෝගයක්

Published

on

By

ග්‍රාමීය ආර්ථික අමාත්‍යාංශය කිරි ගවයන් 15000ක් ආනයනය කිරීමට අදාළව ගෙවන ලද කෝටි 211 ක  මුදලක් අය කරගැනීමට කටයුතු නොකිරීම හේතුවෙන් සිදුවූ පාඩුව එම කටයුත්තට දායක වූ සියලු බලධාරීන්ගෙන් අය කරගැනීමට කටයුතු කරන ලෙස  ජාතික විගණන කාර්යාලය නිර්දේශ කර ඇත.

විගණන ප්‍රධානීන් එම නිර්දේශය කර ඇත්තේ කිරි ගවයන් ආනයනය කිරීමේදී සිදුවී ඇතැයි පැවසෙන දූෂණ වංචා සහ අක්‍රමිකතා පිළිබඳව සොයා බැලීමට කෙරුණු විගණනයට අදාල විශේෂ විගණන වාර්තාවෙනි.

මෙම පාඩුව සඳහා දායක වූ සියලු දෙනාටම දැඩි නීතිමය හා විනය ක්‍රියාමාර්ග ගත යුතු බවටද විගණන ප්‍රධානීන් නිර්දේශ කර ඇත.

කිරි ගවයන් ආනයනයට පෙර ගෙවන ලද රුපියල් කෝටි 175 කට ආසන්න අත්තිකාරම් මුදල සහ ණය මුදලින් කොටසක් සහ  ඊට අදාල පොලිය මෙම මූල්‍ය පාඩුවට  ඇතුළත් වන බව ජාතික විගණන කාර්යාලය පවසයි.

මූලික කාර්යභාරය  ඉටුකිරීමෙන් තොරව සහ විගණන අංශ ලබා දී තිබූ  නිර්දේශ නොතකා හරිමින්  කිරි ගවයන් ආනයනයට මෙසේ අත්තිකාරම් මුදල් නිදහස් කර තිබූ බවත්  එම මුදල් පසුගිය වසරේ දෙසැම්බර් මස 31 වැනිදා වන විටද අය කරගෙන නොතිබූ බවත් වාර්තාවේ දැක්වේ.

කිරි ගවයන් නොගෙන්වා මෙපමණ ඵලදායි නොවන වියදමක් දරා තිබියදී කිරි ගොවීන්ට සහන සැලසීම සඳහා හදිසි අවස්ථා අරමුදලින් රුපියල් කෝටි තිහක් වෙන් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය අපේක්ෂා කර තිබූ බවද විශේෂ විගණන වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

(ලංකාදීප)

Continue Reading

පුවත්

ලංකාව දුන් පොරොන්දු ඉටුකරනවාදැයි බලන්න IMF දෙවැනියා ලංකාවට

Published

on

By

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලයේ මීළඟ රැස්වීමට පෙර විදුලිය මිල වැඩි කිරීම ඇතුළු ශ්‍රී ලංකා ආණ්ඩුව පොරොන්දු වූ ගිවිසුමේ කරුණු ඉටුවේදැයි දැනගැනීම පිණිස විශේෂ සාකච්ඡාවක් සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ, ගීතා ගෝපිනාත් මහත්මිය සහ ආසියානු කලාපීය අධ්‍යක්ෂ ක්‍රිෂ් සිරිනිවාසන් මහතා ලබන සතියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. 

ගෝපිනාත් මහත්මිය මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරියට පමණක් දෙවැනි වන ප්‍රධාන නිලධාරිනියයි.

මෙම ඉහළ පෙළේ දූත පිරිස ශ්‍රී ලංකා මහ බැංකුව සහ ජනාධිපතිවරයා සමඟ විශේෂ සාකච්ඡා වට දෙකකට සහභාගි වනු ඇතැයි දැනගන්නට තිබේ.

විදුලිය මිල සූත්‍රයක් ක්‍රියාත්මක කිරීම ඇතුළු මීට පෙර ඇති කරගත් කාර්ය මණ්ඩල එකඟතා ඉටුකිරීම සම්බන්ධව මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ මතය දැනගැනීම ඔවුන්ගේ ශ්‍රී ලංකා සංචාරයේ ප්‍රධාන අරමුණ බවද සඳහන්ය.

(දේශය)

Continue Reading

පුවත්

නියාමනයට පෙර ප්‍රවාහන සංගම් රජයෙන් සාකච්ඡාවක් ඉල්ලයි

Published

on

By

පෞද්ගලික බස් රථ, ත්‍රිරෝද රථ හා පාසල් සිසුන් ප්‍රවාහන රථ නියාමනයට පෙර පවතින ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡාවක් ලබාදෙන ලෙස ප්‍රවාහන සංගම් රජයෙන් ඉල්ලිමක් කර තිබේ.

සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමයයේ සභාපති මල්ශ්‍රී ද සිල්වා මහතා සඳහන් කළේ රජය විසින් ඊට අවශ්‍ය ක්‍රියාමාර්ග නොගන්නේ නම් වෘත්තීය ක්‍රියාමාර්ග සඳහා යොමුවන බවය.

පෞද්ගලික බස් රථ, ත්‍රිරෝද රථ, පාසල් සිසුන් ප්‍රවාහන රථ ඇතුළු ප්‍රවාහන මාදිලි රැසක් නියාමනයට අවශ්‍ය පියවර ගන්නා අතර ජාතික ගමනාගමන කොමිෂන් සභාවට මේ සඳහා සියළු බලතල පැවරීමට පියවර ගන්නා බවද ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදු කර තිබිණි.

ඒ අනුව ජාතික ගමනාගමන කොමිෂන් සභා සංශෝධන පනත් කෙටුම්පත පසුගියදා පාර්ලිමේන්තුවේදි සම්මත වු අතර පෞද්ගලික බස් රථ, ත්‍රිරෝද රථ, පාසල් සිසුන් ප්‍රවාහන රථ ඇතුළු ප්‍රවාහන මාදිලි රැසක් නියාමනයට අවශ්‍ය ගැසට් පත්‍රයද නිකුත් කළ බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පැවසීය.

සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමයයේ සභාපති මල්ශ්‍රී ද සිල්වා මහතා මේ  සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළේය.

“නියාමනයට කලින් බොහෝ දේවල් තියනවා කරන්න. හැම වතාවෙම මේක කරන්න හැදුවා. ඒත් අපිට කිසිදෙයක් වෙන්නෙ නැතුව රජයට ආදායමක් ලබා ගන්න දෙයක් විතරයි වෙන්නෙ. අපි ඒ දේවල්වලට කැමති නෑ. අපි කියන්නෙ මේක නියාමනය කරනව නම් අපේ ප්‍රශ්න සාධාරණව අහලා ඒවට අවශ්‍ය දේවල් කරලා බලලා අපිත් එක්ක කතා කරලා ඉවරවෙලා මේ දේවල් කරොත් හොදයි කියලා හිතනවා.නියාමනයෙන් හොඳ දෙයක් වෙන්න ඕනා. නියාමනය කියලා මුදලක් අරගෙන අපිට කිසිදෙයක් වෙන්නෙ නැත්තම් වැඩක් නැහැ. හොද විදිහට කරනවා නම් අපි බලනවා. එහෙම නැත්තම් අපිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට යන්න වෙනවා.”

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved