Connect with us

පුවත්

කෝප් කමිටුව, තරුණ සේවා සභාවේ හිටපු සභාපතිව කැඳවයි

Published

on

ස්මාර්ට් යූත් ප්‍රදර්ශනය හා සංගීත ප්‍රසංගය වෙනුවෙන් වැයකළ රු. මිලියන 188 ක් පමණ චෙක්පත් ජනාධිපතිවරණයට පෙර දින ජාතික තරුණ සේවා සභාවේ හිටපු සභාපතිවරයාගේ අත්සනින් ලබා දී ඇති බව කෝප් කමිටුවේදී අනාවරණය විය.

මෙම චෙක්පත් සඳහා හිටපු සභාපතිවරයා අත්සන් කොට ඇත්තේ මෙම ගෙවීම් සඳහා අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමතියකින් තොරව, නිලධාරීන්ට බලපෑම් කරමින් 2024 වර්ෂයේ පැවති ජනාධිපතිවරණයට පෙර දින බවත් මෙහිදී හෙළි විය. 

මේ අනුව කාරක සභාව නිලධාරීන්ගෙන් විමසීමේදී නිලධාරීන් පෙන්වා දුන්නේ ජනාධිපතිවරණයට පෙර දින මහා භාණ්ඩාගාරයෙන් රුපියල් මිලියන 100 ක් පමණ ලැබුණු බවත් එවකට හිටපු සභාපතිවරයාගේ බලපෑම මත මෙම වියදම් සහතික කොට චෙක්පත් නිකුත් කිරීමට සිදු වූ බවත්ය. තරුණ සේවා සභාවේ ගණන් දීමේ නිලධාරීයා ලෙස හිටපු සභාපතිවරයා නිර්දේශ කිරීමෙන් පසු එය කිරීමට සිදු වූ බවත් එසේ නොකළේ නම් තමන් ස්ථාන මාරු කිරීම් වලට ලක් කරන බවත් මෙහිදී නිලධාරීහු ප්‍රකාශ කළහ. මේ අනුව ජනාධිපතිවරණයට පෙර දින සවස රු. මිලියන 188 පමණ චෙක්පත් නිකුත් කිරීමට සිදු වූ බවත් මෙහිදී නිලධාරීහු වැඩිදුරටත් පෙන්වා දුන්හ.
මෙහිදි කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා පෙන්වා දුන්නේ මෙය ඉතා සංවේදී කරුණක් බවයි. රාජ්‍ය නිලධාරීන් බිල්ලට දී ජාතික තරුණ සේවා සභාවේ හිටපු සභාපතිවරයා මුදල් අවභාවිත කොට ඇති බවයි. එසේම නිලධාරියාටද මෙවැනි කරුණු වලදී විරුද්ධවීමට පෞරුෂයක් පැවතිය යුතු බව ද පෙන්වා දුන් කාරක සභාවේ සභාපතිවරයා තමන්ට පැවරුණු කාර්යභාරය නිවැරදිව ඉටු කරන ලෙස සියලු රාජ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවද පැවසුවේය.

මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා වන අතරතුර ජාතික තරුණ සේවා සභාවේ එවකට සිටි මුදල් අධ්‍යක්ෂවරයා කාරක සභාවට පැමිණ සිටියද කාරක සභා‍ව අවසන් වන වේලාව වන තෙක්ම ඔහු අදහස් පළ නොකර සිටීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරුන්ගේ විරෝධය පළ විය. පහළ නිලධාරීන් අදහස් ඉදිරිපත් කරද්දී නිශ්ශබ්දව සිටීම කාරක සභාව නොමග යැවීමක් බවත් මේ සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගත යුතු බවත් මෙහිදී කාරක සභාව පෙන්වා දෙන ලදී.

එසේම ජාතික තරුණ සේවා සභාවේ හිටපු සභාපතිවරයා කෝප් කමිටුවට කැඳවීමට මෙහිදී තීරණය කෙරුණු අතර හෙට (20) මෙම සාකච්ඡාව වැඩිදුරටත් පැවැත්වීමට මෙම ආයතනය කෝප් කමිටුවට කැඳවීමට තීරණය කෙරුණි.

මෙම සියලු තොරතුරු අනාවරණය වුයේ ජාතික තරුණ සේවා සභාවේ සහ ශ්‍රී ලංකා යූත් සර්විසස් (පුද්ගලික) සමාගමේ 2022 සහ 2023 වර්ෂයන්ට අදාළ විගණකාධිපති වාර්තා, වර්තමාන කාර්ය සාධනය සහ 2021 නොවැම්බර් 16 දින පවත්වන ලද ‍පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ ගනු ලැබූ නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නිශාන්ත සමරවීර මහතාගේ සභාපතිත්වයෙන් ඊයේ (18) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

මෙහිදි දීර්ඝ වශයෙන් 2024 ජනවාරි සිට අගෝස්තු දක්වා මාස 8 කාලය තුළදී ජාතික තරුණ සේවා සභාව විසින් දියත් කරන ලද ස්මාර්ට් යූත් අවුරුදු උත්සවය, ජාතික තරුණ වෙසක් උළෙල, ජාතික තරුණ පොසොන් කළාපය, යාපනය තරුණ හමුව වැඩසටහන, 31 Night Youth Celebration සහ ස්මාර්ට් යූත් ප්‍රදර්ශනය හා සංගීත වැඩසටහන වෙනුවෙන් වෙන්කොට තිබූ රු. 538,080,000/= ක මුදල් ප්‍රතිපාදන සහ ඒවා වියදම් කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු විය. මේ අනුව මේ වෙනුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ තරුණ අභිවෘද්ධිය වැඩසටහන යටතේ රු. මිලියන 398 ක් පමණ වෙන්කර තිබුණද බිල්පත් වල අඩු පාඩු නිසා එම මුදල් ලබා නොදුන් බවත් මෙහිදී අනාවර්ණය විය.

එසේම වසර මුලදි සැපයුම් කරුවන් ලියාපදිංචි කරන බවත් පසුගිය කාලසීමාව තුළ එසේ නොමැතිව තරුණසේවා සභාවේ හිටපු සභාපතිවරයාගේ අභිමතය පරිදි ඔහු සඳහන් කළ පුද්ගලයන්ගෙන් ලංසු ලබාගෙන අදාළ සැපයුම් සිදු කොට ඇති බවත් මෙහිදී අනාවරණය විය. තවද චෙක්පත් ලබාදීමේදී අදාළ පුද්ගලයා නොපැමිණ වෙනත් පුද්ගලයින්ට ඒවා රැගෙනයාම‍ට අවස්ථාව ලබා දී ඇති බවද මෙහිදී අනාවරණය විය.

මීට අමතරව ශ්‍රී ලංකා යූත් සර්විසස් (පුද්ගලික) සමාගමේ මූල්‍ය විනය පවත්වා‍ගෙන නොයෑම පිළිබඳව සහ අභ්‍යන්තර විගණනයන් නොපැවැත්වීම සම්බන්ධයෙන්ද මෙහිදී කාරක සභාවේ අවධානය යොමු විය. එසේම ජාතික තරුණසේවා සභාවේ ස්ථිර තනතුරු දරන නිලධාරීන් 25 දෙනෙකු ස්ථිර හා තාවකාලික පදනම යටතේ ජාතික තරුණ සේවා සමූපකාර සමිතියේ තනතුරු සඳහා පත් කිරීම සම්බන්ධයෙන්ද, පූර්ව පෙ‍ාදු ව්‍යාපාර කාරක සභාවේ ගෙන ඇති තීරණ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමු විය.

එසේම ගැටලු සහගත තත්ත්වයන් රැසක් පැහැදිලි වන බැවින් ජාතික තරුණසේවා සභාව, ශ්‍රී ලංකා යූත් සර්විසස් (පුද්ගලික) සමාගම සහ ජාතික තරුණ සේවා සමූපකාර සමිතියේ අවශ්‍යතාවය සහ අනෙකුත් සාකච්ඡා කළ කරුණු සම්බන්ධයෙන් මාසයක් ඇතුළත වාර්තාවක් කෝප් කාරක සභාවට ලබාදීමට මෙහිදි නිර්දේශ කරන ලදි.

මෙම කාරක සභා රැස්වීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්.කේ.එම්. අස්ලම් මහතා, සමන්මලී ගුණසිංහ, කෝසල නුවන් ජයවීර, සුජීව දිසානායක, (වෛද්‍ය) එස්. ශ්‍රී බවානන්දරාජා, ජගත් මනුවර්ණ, රුවන් මාපලගම, සුනිල් රාජපක්‍ෂ, ධර්මප්‍රිය විජේසිංහ, අසිත නිරෝෂණ එගොඩ විතාන, තිළිණ සමරකෝන්, චන්දිම හෙට්ටිආරච්චි සහ නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර යන මහත්ම මහත්මීන් සහභාගී වූහ.

කර්තෘ සටහන – පාර්ලිමේන්තු සන්නිවේදන අංශය විසින් මෙසේ කොප් කමිටුව හමුවට කැඳවා ඇති සභාපතිවරයකුගේ නමක් සඳහන් නොවෙතත්, ස්මාර්ට් යූත් ප්‍රදර්ශනය පැවැති හා අවසන් ජනපතිවරණ සමයේ එහි සභාපතිවරයා ලෙස කටයුතු කරනු ලැබුවේ 25 හැවිරිදි සිවිල් ඉංජිනේරුවෙකු වන පසිඳු ගුණරත්න මහතාය. මේ සිද්ධිය සම්බන්ධයෙන් එවකට සිටි ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ට ද චෝදනා එල්ලවී තිබේ.

පුවත්

කෙහෙළිය රඹුක්වැල්ලගේ දියණියන් දෙදෙනාට සහ බෑණාට ඇප (UPDATE)

Published

on

By

අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ දියණියන් දෙදෙනෙකු සහ ඔහුගේ බෑණා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

ඒ අනුව එක් එක් සැකකරු රුපියල් පනස්දාසක මුදල් ඇප සහ රුපියල් මිලියන 5 බැගින් වූ ශරීර ඇප තුනක් බැගින් මුදාහැරීමට මහෙස්ත්‍රාත්වරිය නියම කර ඇත.

මුදල් විශුද්ධිකරණ චෝදනා මත පැවැත්වෙන විමර්ශනයකට අදාළව මෙම පිරිස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද (19) අත්අඩංගුවට ගෙන තිබුණි.


(පෙර පුවත 2025 ජුනි 19, ප.ව.3:36)

කෙහෙළිය ගෙදර යයි. බෑණා කෙනෙක් සහ අනෙක් දියණියන් දෙදෙනා අත්අඩංගුවට (UPDATE)

මුදල් විශුද්ධිකරණ චෝදනා මත පැවැත්වෙන විමර්ශනයකට අදාළව හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ දියණියන් දෙදෙනා හා බෑණා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද (19) අත්අඩංගුවට ගෙන ඇත.

නිවේදනයක් නිකුත්කරමින් එම කොමිසම පවසා සිටියේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, චමිත්‍රි ජයනිකා රඹුක්වැල්ල, අමලි නයණිකා රඹුක්වැල්ල සහ අමලි රඹුක්වැල්ල යන අයගේ ස්වාමිපුරුෂයා වන ඉසුරු පුලස්ති බණ්ඩාර පොල්ගස්දෙණිය යන බවය.

මුදල් විශුද්ධිකරණ චෝදනාව යටතේ රු.134,097,731.39 (රුපියල් දහතුන් කෝටි හතලිස් ලක්ෂ අනූහත්දහස් හත්සිය තිස්එකයි ශත තිස් නවය)ක වටිනාකමින් යුක්ත වත්කම්, රු. 40,000,000 (රුපියල් මිලියන හතලිහ)ක වටිනාකමින් යුක්ත මහල් නිවාස සහ රු. 20,500,000 (රුපියල් ලක්ෂ දෙසිය පහ)ක වටිනාකමින් යුත් බෙන්ස් වර්ගයේ මෝටර් රථයකට අදාළව අල්ලස් කොමිසම මෙහිදී විමර්ශන කටයුතු සිදු කරගෙන යනු ලබයි.

එම විමර්ශනයට අදාළව මේ වනවිටත් ස්ථාවර තැන්පතු ගිණුම් සහ ජීවිත රක්ෂණ ආයෝජන සැලසුම් 40කට ආසන්න ප්‍රමාණයක් අත්හිටුවා ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ අතර ඇප කොන්දේසි සපුරාලීමෙන් අනතුරුව හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන්ව මුදා හැරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (19) නියෝග කළේය.

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ සහ දියණිය අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැරීමෙන් අනතුරුව ඇප කොන්දේසි සපුරාලීමට නොහැකිවීම හේතුවෙන් යළි රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියේය.

ඒ අනුව ඔවුන් අද දින ඇප කොන්දේසි සපුරාලීමෙන් අනතුරුව මුදා හැරීමට අධිකරණය නියම කළේය.


(පෙර පුවත 2025 ජූනි 19 පෙ.ව.11.38 )

කෙහෙළියගේ බෑනා, ලේලිය සහ තවත් දියණියක් ප්‍රශ්න කිරීමට කැඳවයි

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුල්වැල්ල මහතාගේ බෑනා, ලේලිය සහ තවත් දියණියක් අද (19) දිනයේ අල්ලස් කොමිසම වෙත පැමිණ තිබේ.

මේ අතර ඊයේ (18) දිනයේ අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණු හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ සහ දියණියක් ඇප කොන්දේසි සපුරාලීමට නොහැකිවීම හේතුවෙන් බන්ධනාගාර නිලධාරීන් විසින් ඔවුන් තිදෙනාව බන්ධනාගාරය වෙත රැගෙන ගොස් තිබුණි

සබැඳි පුවත්

Continue Reading

පුවත්

කොළඹ කොටස් වෙළෙඳපොළට නව සභාපතිවරයෙක්

Published

on

By

කොළඹ කොටස් වෙළෙඳපොළ නව සභාපතිවරයා ලෙස දිමුතු අබේසේකර මහතා පත් කර තිබේ.

ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළෙඳපොළ තුළ වසර 35කට අත්දැකීම් ඇති ඒ මහතා පසුගිය වසර 6ක කාලය පුරාවට කොළඹ කොටස් වෙළෙඳපොළ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස ද කටයුතු කර ඇත.

Continue Reading

පුවත්

සබරගමුවේ සිසුවා මියගියේ නවකවධය නිසා

Published

on

By

සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුවා සියදිවි නසාගැනීමට හේතුව නවකවධය බවට මේ වනතෙක් සිදුකරන ලද මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

එමෙන්ම මේ වසරේ ගතවූ මාස 6 තුළ නවකවධ සිද්ධි 30කට අධික සංඛ්‍යාවක් නවකවධ පැමිණිලි විමර්ශන අංශයට වාර්තාවී තිබේ.

සබරගමුව විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හදාරමින් සිටි චරිත් දිල්ශාන් නම් සිසුවා පසුගිය අප්‍රේල් මස 29 වනදා ලිපියක් ලියා සියදිවි නසාගෙන තිබුණි.

අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නවකවධ පැමිණිලි විමර්ශන අංශය මගින් ආරම්භ කළේය.

එහි ප්‍රතිඵලයක් ලෙස අදාළ සිදුවීමට සම්බන්ධ බවට සැකකෙරෙන එම විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසක් අත්අඩංගුවට ගෙන මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

අදාළ සිදුවීම පිළිබඳව විමර්ශන නිලධාරීන් විසින් සබරගමුව විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය ඇතුළු පාර්ශ්ව රැසකින් ප්‍රකාශද සටහන් කරගනු ලැබීය.

ඒ අනුව මෙතෙක් සිදුකරන ලද විමර්ශනවලදී අනාවරණවී ඇත්තේ, අදාළ සිසුවා සියදිවි නසාගැනීමට හේතුව නවකවධය බවය.

අදාළ සිසුවා විශාදය රෝගයෙන් පෙළී නොමැති බවත් අනාවරණය වී ඇතැයි වාර්තා වෙයි.

එමෙන්ම සබරගමුව විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරියේ සිටින ඇතැම් උසස් නිලධාරීන් විශ්වවිද්‍යාලය තුළ ඇති නවකවධ සිදුවීම් පිටතට අනාවරණය වීම වළක්වාලීමට කටයුතු කරන බවද විමර්ශනවලදී අනාවරණ වී ඇත.

වසරේ මේ දක්වා කාලය තුළදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නවකවධ පැමිණිලි විමර්ශන අංශයට එවැනි සිද්ධි පිළිබඳව පැමිණිලි 30කට අධික සංඛ්‍යාවක් වාර්තාවී තිබූ අතර ඉන් වැඩිම සංඛ්‍යාවක් සබරගමුවෙන් බවත් එම සංඛ්‍යාව 10කට අධික බවත් පැවසෙයි.

එමෙන්ම නැගෙනහිර හා ඔලුවිල් විශ්වවිද්‍යාලවලින්ද නවකවධ සිද්ධි පිළිබඳව පැමිණිලි ලැබී ඇත.

ඒවා පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකර නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව විමර්ශන නිලධාරීන් පවසයි.

අදාළ සිද්ධිවලට චෝදනාලත් සිසුන් වැරදිකරුවන් වුවහොත් වසර 20ක සිරදඬුවමකට ලක්වීමටද සිදුවෙයි.

මේ අතර නවකවධ සිද්ධි පිළිබඳව පැමිණිලි ඇත්නම් 1997 දුරථකන අංකයට දැනුම්දෙන ලෙස පොලීසිය විශ්වවිද්‍යාල සිසුන්ගෙන් ඉල්ලා සිටී.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved