පුවත්

ගංගා හයක ජල මට්ටම අවදානම් මට්ටමේ!

Published

on

ගංගා හයක ජල මට්ටම් අවදානම් තත්ත්වයක් දක්වා ඉහළ ගොස් තිබෙන බැවින්, ඉදිරි වැසි තත්ත්වය සමග මෙම ගංගා ආශ්‍රිතව ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

කැලණි, කළු, ගිං, දැදුරු ඔය ,මහ ඔය, අත්තනගලු ඔය යන ගංගාවල ජල මට්ටම් මෙලෙස ඉහළ ගොස් තිබේ.

රත්නපුර සහ ඒ අවට ප්‍රදේශවලදී කළු ගඟ සහ එහි අතු ගංගා වන කුරු, නිරිඇලි, වේ, දෙනවක යන ගංගාවල ජල මට්ටම අවදානම් මට්ටමක තිබෙන බවත්, මේ නිසා එම ප්‍රදේශ ආශ්‍රිතව පහසුවෙන් ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ හැකියාව පවතින බවත් වාරිමාර්ග අධ්‍යක්ෂ (ජල විද්‍යා සහ ආපදා කළමනාකරණ) එස්.පී.සී.සුගීෂ්වර මහතා පැවැසීය.

රත්නපුර, කුරුවිට, ඇලපාත, පැල්මඩුල්ල, නිවිතිගල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල කළු ගඟ පහත්බිම් නිම්නයේ පදිංචි ජනතාව දැඩි අවධානයෙන් පසුවීම වැදගත් බවද ඔහු කීවේය.

කුකුළේ ගඟ විදුලි බලාගාර ජලාශයේ දොරටු විවෘත කර තිබීම නිසා බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පහත්බිම් රැසක් ජලයෙන් යටවී තිබිණි.

අත්තනගලු ඔය පිටාර ගැලීම නිසා ජා ඇල ආදී ප්‍රදේශවල මාර්ග කීපයක් ඊයේ (29 වැනිදා) දිනයේදී ජලයෙන් යටවී තිබිණි.

වාරිමාර්ග ජලාශවල ජල මට්ටම සියයට 80 ක මට්ටමක පවතින බවද අධ්‍යක්ෂවරයා කීවේය. 

විදුලි බලාගාර ජලාශවල ජල මට්ටම සියයට 53 ක් දක්වා ඉහළ ගොස් ඇතැයිද ඔහු පැවසීය.

අද (30) දිනයේදීද බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, නුවරඑළිය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල මිලි මීටර් 75 ට වැඩි තදවැසි ඇතිවියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

ඊයේ (29 ) පෙරවරු 8.30 න් අවසන්වූ පැය 24 ක කාලය තුළදී දිවයිනේ වැඩිම වර්ෂාපතන තත්ත්වය රත්නපුර දිස්ත්‍රික්කයේ කෑරගල ප්‍රදේශයෙන් වාර්තා විය. එම ප්‍රදේශයෙන් මිලි මීටර් 135 ක වර්ෂාපතන තත්ත්වයක් වාර්තා වූවේය.

Trending

Exit mobile version