පුවත්

ගංවතුර සමඟම එන රෝග

Published

on

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය සහ ගංවතුර තත්ත්වයත් සමඟ රෝග කිහිපයක ව්‍යාප්තිය වැඩිවනු ඇති බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.

ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කළේ පාචනය, අතීසාරය, උණසන්නිපාතය සහ ඉන්ෆ්ලුවෙන්සා වැනි රෝග තත්ත්වයන් ව්‍යාප්ත වීමේ වැඩි අවධානමක් පවතින බවය.

“පාචනය, අතීසාරය, උණසන්නිපාතය සහ ඉන්ෆ්ලුවෙන්සා කියන රෝග තත්ත්වයන් තමයි ව්‍යාප්තව තිබෙන්න ඉඩකඩ වැඩී විශේෂයෙන්ම පාචනය කියන රෝගය අපිරිසිදු ජලය සහ අපිරිසිදු ආහාර මඟින් තමයි බෝවෙන්නේ. බොහෝවිට මේක වෛරස් උණක්. මෙතනදී රෝග ලක්ෂණ විදිහට උණත් සමග වමනය, අජීරණය, බඩ රිදිල්ල වගේ රෝග ලක්ෂණ තමයි තියෙන්නේ. දෙවනුව පාචනයට අමතරව වැසිකිළි යන විට ලේ යනවා නම් මේක අතිසාරය වෙන්න පුළුවන්. ඊට අමතරව මේ දවස්වල තාමත් ඉන්ෆ්ලුවෙන්සා රෝගය පැතිරෙනවා. ඒ නිසා කැස්ස සෙම්ප්‍රතික්ෂාව, උණ පවුලක ඉක්කමනට පැතිරෙනවා නම් මේක ඉන්ෆ්ලුවෙන්සා වේන්නත් පුළුවන්. ඊටත් අමතරව මේ සීතල කාලය නිසා ළමා හතිය වැඩිවෙන්නත් ඉඩකඩ තිබෙනවා. කැස්ස හෙම්බිරිසාව හුස්ම ගැනීමේ අපහසුවක් තියෙනවා නම් දරුවෙකුට ඒක ළමා හතිය තියෙයිද කියලා හොයලා බලන්න. මීට ඉස්සරවෙලා කාලයක් තිස්සේ ඉන්හේලස් ගන්න දරුවෝ ඉන්නවා නම් දිගටම ඉන්හේලස් පාවිච්චි කරන්න.”

මේ අතර, ජල ගැලීම් තත්ත්වයත් සමඟ මී උණ රෝග ව්‍යාප්තිය ද ඉහළ යා හැකි බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

එහි සභාපති උපුල් රෝහණ මහතා පෙන්වා දෙන්නේ, ජල ගැලීමට ලක්වූ ප්‍රදේශවල සිටින ජනතාව මේ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකළ යුතු බවය.

මේ අතර ජල ගැලීම්වලට ලක්වූ නිවෙස් සහ ජල ප්‍රභව පිරිසිදු කිරීමේ දී විෂබීජනාශක ද්‍රව්‍ය යොදාගැනීම ද අනිවාර්යෙන් සිදුකළ යුතු බව උපුල් රෝහණ මහතා පෙන්වා දෙයි.

Trending

Exit mobile version