කෘෂිකර්මාන්තය දියුණු නොකොට ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කළ නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ නව ග්‍රාම නිලධාරීන් ලෙස බඳවාගත් 2100කට පත්වීම් ලිපි ප්‍රදානය වෙනුවෙන් අද (08) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවති උත්සවය අමතමිනි.
රජයේ කෘෂි නවීකරණ වැඩසටහන ඇතුළු ග්‍රාමීය ආර්ථිකය දියුණු කිරීමට රජය ආරම්භ කළ සියලු වැඩසටහන් සාර්ථක කර ගැනීමට බිම් මට්ටමේ රාජ්‍ය නිලධාරීන්ගේ කැපවීම අත්‍යාවශ්‍ය බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.
විභාග දෙපාර්තමේන්තුව විසින් 2023 වසරේ දෙසැම්බර් මස 02 වැනිදා පවත්වන ලද ග්‍රාම නිලධාරී විභාගයේ ප්‍රතිඵල අනුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් වැඩිම ලකුණු ලබා ගත් අයැදුම්කරුවන් අතරින් 2100 දෙනකු වෙනුවෙන් මෙසේ ග්‍රාම නිලධාරී පත්වීම් ප්‍රදානය සිදු කරන ලදී.
සංකේතාත්මකව පත්වීම් ලිපි ප්‍රදානය වෙනුවෙන් ජනාධිපතිවරයාගේ සහභාගිත්වය සිදුවිය.
අඩු ආදායම් ලාභී ජනතාව නගා සිටුවීමට රජය ආරම්භ කර ඇති අස්වැසුම, උරුමය ඇතුළු වැඩසටහන් පිළිබඳ මෙහිදී නව ග්‍රාම නිලධාරීන් දැනුවත් කළ ජනාධිපතිවරයා මෙම සියලු වැඩසටහන්වල අරමුණ ග්‍රාමීය ආර්ථිකය දියුණු කිරීම බවත්, තම ප්‍රදේශයේ ආර්ථිකය දියුණු කිරීම වෙනුවෙන් එම වැඩසටහන් සමඟ සක්‍රීයව එක්වන ලෙසත් ඉල්ලා සිටියේය.