පුවත්

ගැටුම ගැන මන්ත්‍රි ගුණතිලකගෙන් පැය 2ක් ප්‍රශ්න කරයි

Published

on

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේගේ සහ ගුණතිලක රාජපක්ෂ අතර ජනාධිපති ලේකම් කාර්යාලයේ පසුගිය 03 වැනිදා රාත්‍රියේ ඇති වූ ගැටුම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි ගුණතිලක රාජපක්ෂ මහතාගෙන් කොටුව පොලිසිය පැය දෙකක පමණ කාලයක් ඊයේ (05) ප්‍රශ්න කර තිබේ.

එහිදී මන්ත්‍රිවරයා ප්‍රකාශ කර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ තමාට පහර දීමත් සමග බිමට ඇදවැටී පාදයට දැඩි තුවාල සිදු වූ බවය.

ජනාධිපති ලේකම් කාර්යාලයේ පසුගිය 03 වැනිදා රාත්‍රියේ පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමෙන් අනතුරුව පිටතට පැමිණෙන අවස්ථාවේදී මන්ත්‍රිවරුන් දෙපළ අතර ඇතිවූ උණුසුම් වචන හුවමාරුවකින් අනතුරුව මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රිවරයා විසින් ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රිවරයාට පහර දීමක් සිදු කර ඇතැයි කියයි.

එහිදී මන්ත්‍රිවරයාගේ පාදයක අස්ථි බිඳීමක් හේතුවෙන් නාරාහේන්පිට හමුදා රෝහලට ඇතුළත් කර ශල්‍යකර්මයකින් පසු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබා මේ වන විට නැවතත් රෝහලේ සාමාන්‍ය වාට්ටුවකට ඊයේ (05) මාරුකොට යවා ඇත.

එහිදී මන්ත්‍රිවරයා මාධ්‍යට අදහස් දක්වමින් කියා සිටියේ මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රිවරයාගේ හැසිරීම මන්ත්‍රිවරයකුට තියා රස්තියාදුකාරයකුටවත් නොගැළපෙන බවත් උගත් බුද්ධිමත් පුද්ගලයෙක්ගෙන් කිසි දිනයක එවැනි හැසිරීමක් බලාපොරොත්තු විය නොහැකි බවත්ය.

එහෙත් චෝදනාවට ලක්ව සිටින මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රිවරයා සඳහන් කරන්නේ උණුසුම් කතා බහක් ඇති වූවද තමා ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රිවරයාට කිසිදු හෝ පහර දීමක් සිදු නොකළ බවත් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් පිටතට පැමිණීමේදී ඇදවැටුණු මන්ත්‍රිවරයා තුවාල ලද බවත්ය.

Trending

Exit mobile version