පුවත්

ගිය අවුරුද්දේ ඇක්සිඩන්ට් වලින් මළ අය අතරින් 411ක් සිසුන්

Published

on

ඉකුත් වසරේදී (2022) මරණයට පත් වූ 2515 දෙනාගෙන් 411 දෙනකු පාසල් සිසුන් බව අනාවරණය වී තිබේ. 

ඒ අනුව පාසල් සිසුන් රිය අනතුරුවලට ලක්වීම වළක්වා ගැනීම සඳහා සෑම පාසලකම මාර්ග ආරක්ෂක කමිටු පිහිටුවන ලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ මාර්ග ආරක්ෂාව පිළිබඳ විද්වත් කමිටුව අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර තිබේ.

‘‘ඉකුත් 2022 වසරේ දී මාරක රිය අනතුරු 2395ක් සිදු වී තිබෙන බවට පොලිස් වාර්තා අනුව පෙනී යනවා. එම අනතුරුවලින් 6231 දෙනකු බරපතළ තුවාල ලබා තිබෙන අතර, තවත් 2515ක් මරණයට පත් වී තිබෙනවා.’’ යැයි මාර්ග ආරක්ෂාව පිළිබඳ විද්වත් කමිටුවේ සභාපති මහාචාර්ය සමන් ධර්මරත්න මහතා සඳහනක් කළේය. 

“රජය සෞඛ්‍යයට වෙන් කර තිබෙන මුදලින් රුපියල් බිලියන 200ක් පමණ මෙම අනතුරු සඳහා ප්‍රතිකාර කිරීමට වැයවෙන අතර එය මෙරට දළ දේශීය නිෂ්පාදිතයෙන් 3%ක් පමණ වෙනවා. එම නිසා රටේ ශීඝ්‍ර ලෙස වර්ධනය වෙමින් පවතින මාර්ග අනතුරු වළක්වා ගැනීමට ජනාධිපති කාර්ය සාධක බලකායක් ස්ථාපිත කරන ලෙස රජයෙන් ඉල්ලා සිටිනවා.’’ යැයි මාර්ග ආරක්ෂාව පිළිබඳ විද්වත් කමිටුවේ ලේකම් වෛද්‍ය රුවන් තුෂාර මැටිවලගේ මහතා පැවැසීය.

‘‘රියැදුරන්ට නිසි පුහුණුවක් නොමැතිවීම රිය අනතුරු බහුල වීමට හේතුවක් වී තිබෙනවා. ලංකාවේ නරකම පාරවල් තිබෙන්නේ කොළඹ නගරයේයි. කිසිදු ප්‍රමිතියකට අනුව පාරවල් නඩත්තු කරන්නේ නැහැ. මෙරට සිදුවන රිය අනතුරු අවම කර ගැනීමට නම් එම අනතුරු සිදු කරන රියැදුරන්ට එරෙහිව පනවා තිබෙන නීති තවදුරටත් දැඩි කළ යුතුයි.’’ යනුවෙන් ලෝක මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව මහතා පැවැසීය.

(අරුණ)

Trending

Exit mobile version