පුවත්

ගිය අවුරුදු දෙකහමාරට අනුරාධපුරේ අලි 208ක් මැරිලා

Published

on

අනුරාධපුර දිස්ත්‍රික්කයේ පමණක් වසර දෙක හමාරක කාලසීමාවක් තුළ වන අලින් 208ක් මරණයට පත්ව ඇතැයි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ දත්ත වාර්තාවලින් මේ බව අනාවරණයවී ඇතැයි අඩවි ආරක්ෂක නිලධාරී එම්. රත්නසිරි මහතා කියා සිටී.

ඒ  2021 දී වන අලින් 78ක්, 2022 දී වන අලින් 84 ක් හා 2023 මුල් හය මාසයේ දී වන අලින් 46ක් වශයෙන් බව පැවසේ.

අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පසුගියදා පැවැති රැස්වීමක දී මේ බව හෙළිව ඇති අතර අලි මිනිස් ගැටුම හේතුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ පමණක් වසර දෙක හමාරක කාලසීමාවක් තුළ මිනිස් ජීවිත 87ක් නැතිවී ඇතැයි ද වාර්තා වේ.

පසුගිය 2021 වසරේ දී මිනිස් ජීවිත 32ක්, 2022 දී මිනිස් ජීවිත 37ක් හා 2023 ජුනි 30 දක්වා හය මාසයේ දී මිනිස් ජීවිත 18ක් වන අලින්ගේ පහරදීම්වලින් මියගොස් ඇත.

මේ අතර, පවතින මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන අනුරාධපුර වනජීවී කලාපය හා වවුනියාව වනජීවී කලාපය ආවරණය වන ලෙස අලුතින් විදුලිය වැට හතක් ඉදිකිරීමට තීරණය කර ඇතැයි අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ජනක ජයසුන්දර මහතා කියා සිටී.

ඒ අනුව අනුරාධපුර වන ජීවී කලාපයේ විදුලිය වැට පහක් ඉදිකෙරෙන අතර, එහි දුර ප්‍රමාණය කිලෝමීටර් 272 ක් බවද පැවසේ.

වවුනියාව වනජීවි කලාපයේ කිලෝමීටර් 71ක් පමණ දුර විදුලිය වැට දෙකක් අලුතින් ඉදිකිරීමට සැලසුම් කර ඇති බව ඔහු කියා සිටී.

ඒ සඳහා වෙන්කර ඇති මුදලින් රුපියල් මිලියන 88ක් ඉදිකිරීම් සමාගම් වෙත දීමට අනුමැතිය ලැබී ඇතැයි ද ජයසුන්දර මහතා පවසයි.

ඉදිරි වර්ෂා සමය ආරම්භයට පෙර විදුලිය වැට ඉදිකිරීම් සිදුකරන ලෙස දිසාපතිවරයා, කොන්ත්‍රාත් බාර ආයතනවල නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

Trending

Exit mobile version