පහසු ඇඳුමකින් පාසලට පැමිණෙන ගුරුවරියන්ගේ ඇඳුම වෙනස් කරන විදුහල්පතිවරුන් පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.
ඇතැම් විදුහල්පතිවරුන් ගුරුවරියන්ගේ ඇඳුම වෙනස් කරන්නැයි බලපෑම් කරන බවට පැමිණිලි ලැබීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.
මෙම සියලු විදුහල්පතිවරුන් පෞද්ගලික තීරණ අනුව ගුරුවරියන්ගේ ඇඳුම වෙනස් කිරීමට උත්සාහ දරා ඇතැයි අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න මහතා පැවැසීය.
චක්‍රලේඛ මඟින් හෝ සේවා ව්‍යවස්ථා මඟින් ගුරුවරුන්ට නිශ්චිත ඇඳුමක් නියම කර නැතැයි කී නියෝජ්‍ය ඇමැතිවරයා පාසල් ගුරුවරුන්ගේ ඇඳුම සම්බන්ධයෙන් විදුහල්පතිවරුන්ට පෞද්ගලිකව තීරණ ගැනීමට නොහැකි බව සඳහන් කළේය.
ඇතැම් විදුහල්පතිවරුන් පෞද්ගලිකව ගනු ලැබූ මෙවැනි තීරණ හේතුවෙන් පාසල්වල හා විභාග ඇගයීම් මධ්‍යස්ථානවල ගැටලු නිර්මාණය වී ඇතැයි කී හෙතෙම විදුහල්පතිවරුන්ගේ එවැනි හැසිරීම් වැළැක්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය නිලධාරි මට්ටමේ සාකච්ඡාවක් ආරම්භ කළ බවද ප්‍රකාශ කළේය.
ගුරුවරුන්ගේ ඇඳුම සම්බන්ධයෙන් පෞද්ගලික තීරණ නොගන්නා ලෙසත්, යම් ගැටලුවක් තිබේ නම් අමාත්‍යාංශයෙන් විමසා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් ඉදිරියේදී විදුහල්පතිවරුන්ට දැනුම් දෙන බවද ඔහු කීය.
මේ අතර මහරගම ජනාධිපති විදුහලේ උසස් පෙළ විභාග ඇගයීම් මධ්‍යස්ථානයේ රාජකාරි කළ ගුරුවරියන්ට සාරියකින් සැරසී පැමිණෙන ලෙසට එහි විදුහල්පතිවරයා දැනුම් දී තිබීම පිළිබඳව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කළ බවද සෙනෙවිරත්න මහතා පැවැසීය.
එසේම පන්නිපිටිය ධර්මපාල විදුහලේ උසස් පෙළ විභාග ඇගයීම් මධ්‍යස්ථානයේ ගුරුවරියන්ට සාරියකින් සැරසී පැමිණෙන ලෙසට එහි විදුහල්පතිවරයා දැනුම් දී තිබීම පිළිබඳව සොයා බැලීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කළ බවත්, එම කමිටු වාර්තාව අනුව විදුහල්පතිවරයා සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවත් ඔහු පැවසීය.