ඇතැම් පුද්ගලයෝ පාසල් වසා දමමින් වෘත්තීය අයිතිවාසිකම් ඉල්ලා සිටිය ද අවුරුදු ගණනාවක් යුද්ධ කළ එල්.ටී.ටී.ඊ. නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් කිසිදු දිනෙක පාසලක් වසා දැමීමට ඉඩ නොදුන් බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
ප්‍රභාකරන් කිසිදු විභාගයක් කඩාකප්පල් නොකළ බව පැවැසූ ඇමැතිවරයා වෘත්තීය සමිති ඊට එහා ගොස් අනාගත පරපුර උකස් කර වෘත්තීය අයිතිවාසිකම් දිනා ගැනීමට උත්සාහ කරන බව සඳහන් කළේ ය.
වෘත්තීය අයිතිවාසිකම් දිනා ගැනීම පිළිබඳව ගැටලුවක් නොමැති නමුත් අනාගත පරපුර උකස් කර වෘත්තීය අයිතිවාසිකම් දිනා ගැනීමට ඉඩ දිය නොහැකි බව ද හෙතෙම ප්‍රකාශ කළේ ය.
කෘත්‍රිම බුද්ධිය ආශ්‍රිත ශිෂ්‍ය සමාජ වැඩසටහන ආරම්භ කිරීම වෙනුවෙන් අරලියගහ මන්දිරයේ ඊයේ (02) පැවති උත්සවය අමතමින් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා මේ බව පැවසීයය.
කොවිඩ් – 19 වසංගතයෙන් පසු 2020 හා 2021 වසරවලදී පාසල් සියයට 50ක අධ්‍යාපන කටයුතු සිදු කළ බව පැවැසූ හෙතෙම එම කාලය තුළ සවස 1:30න් පසුව පැයක් වැඩිපුර වැඩ කිරීමට ලෑස්තිදැයි වෘත්තීය සමිතිවලින් නොවිමසූ බව ත් ඒ පිළිබඳව වෘත්තීය සමිති නායකයන්ගෙන් ලැබෙන පිළිතුර තමන් දැන ගෙන සිටි බව ත් කීය.
එසේ, අවුරුදු දෙකක් පාසල් සියයට 50ක් පවත්වන විට කිසිවෙකුගේ වැටුප් නතර නොකළ බව පැවැසූ හෙතෙම කිසිවෙකුට වැටුපෙන් අඩක් නොගෙවූ බව ත් එම කාලයේදී සියලු ම රජයේ සේවකයන්ට සම්පූර්ණ වැටුප ගෙවූ බව ත් සඳහන් කළේ ය.
2022 අප්‍රේල් මාසයේදී රට බංකොලොත්භාවය ප්‍රකාශයට පත් කළ පසු මාස දෙකක් පමණක් අවස්ථා දෙකකදී වැටුප් ගෙවූ බව ත් ඊට අමතරව රජයේ සේවකයන්ගේ වැටුප් සතයක්වත් අඩු නොකළ බව ත් ප්‍රේමජයන්ත මහතා පැවසීය.
වසර දෙකක කෙටි අතීතය සියලු දෙනාට අමතක වී ඇතැයි පැවැසූ හෙතෙම වැඩ වර්ජන මෙහෙයවන පිරිස් අධ්‍යාපනයේ හරය දැන ගෙන සිටිය යුතු අතර ලෝකය ද යන දිශාව දැනගෙන සිටිය යුතු බව කීය.