ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙමින් තිබූ ගුවන් යානයක සේවයේ නිරත වී සිටි දකුණු අප්‍රිකානු ජාතික ගුවන් සේවිකාවකට උඩු ගුවනේදී අධික බීමතින් ලිංගික අතවර කරන ලදැයි අත්අඩංගුවට ගත් නැවක කපිතාන්වරයකු රිමාන්ඩ් භාරයේ තබන ලෙස අධිකරණය ඊයේ (29) නියෝග කළේය.
කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ යාපනය, වඩුක්කෝට්ටෙහි පදිංචි 49 හැවිරිදි කනගසභාපති කුෂාන්තන් නමැති සැකකරු ලබන මස 5 වැනි දින තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි නියෝග කළාය.
නැවක කපිතාන්වරයකු ලෙස කටයුතු කරන සැකකරු ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙන ඊ.කේ. 650 දරන එමිරේට්ස් ගුවන් සේවයේ යානයකින් පැමිණෙමින් සිටින අතරතුරදී අධික ලෙස බීමත්ව එම ගුවන් යානයේ සේවය කරමින් සිටි 39 හැවිරිදි දකුණු අප්‍රිකානු ජාතික ගුවන් සේවිකාවකට උඩු ගුවනේදී ලිංගික අතවර කර ඇතැයි කටුනායක ගුවන් තොටුපොළ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එල්මෝ මැල්කම් පේට් අධිකරණය වෙත දන්වා සිටියේය.
මෙම සිද්ධිය පිළිබඳව අදාළ ගුවන් සේවිකාව වහාම ගුවන් යානයේ නියමුවා දැනුවත් කර ඇති බව දන්වා සිටි පොලිසිය අදාළ ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සීමෙන් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගත් බවද අධිකරණයට දන්වා සිටියේය.
සැකකරු මීගමුව අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ඉදිරිපත් කළ බවත්, එහිදී ඔහු බීමත්ව සිටි බවට කරුණු තහවුරු වූ බවද දන්වා සිටි පොලිසිය ඉන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත සැකකරු ඉදිරිපත් කළ බවද දන්වා සිටියේය.
මූලාශ්‍රය – දේශය