ගම්පහ ඉඹුල්ගොඩදී නිවෙසක සුරතලයට ඇතිකළ සුනඛ ධේනුවකට ගිනි තබා ඝාතනය කළේ යැයි සැකපිට පුද්ගලයකු පෙරේදා (11) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව යක්කල පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගම්පහ ඉඹුල්ගොඩ පදිංචි 65 හැවිරිදි පුද්ගලයකි.
ගම්පහ ඉඹුල්ගොඩ නිවෙසක සුරතලයට ඇතිකළ සුනඛ ධේනුවකට ඉකුත් 10 වැනිදා රාත්‍රි අසල්වැසියකු ගිනිතබා ඇති අතර බරපතළ පිලිස්සුම් තුවාල ලැබූ සුනඛයා හිමිකරුවන් විසින් සත්ව රෝහලකට රැගෙන යන අතරමගදී මියගොස් තිබිණි.
සැකකාර පුද්ගලයා ජර්මන් ෂෙපර්ඩ් වර්ගයේ සුනඛයන් නිවෙසෙහි ඇති කරන අයකු වන අතර එම සුනඛයන් සමග මෙම සුනඛ ධේනුව හැසිරුණැයි උරණ වීම හේතුවෙන් මෙලෙස ගිනි තබා ඇතැයි තොරතුරු අනාවරණය වී තිබිණි.
ඝාතනය වූ සුනඛ ධේනුවගේ හිමිකරුවන් සිද්ධිය සම්බන්ධයෙන් යක්කල පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබූ අතර ඒ අනුව විමර්ශන කළ පොලිස් නිලධාරිහු සැකකාර පුද්ගලයා අත්අඩංගුවට ගත්හ.