Connect with us

පුවත්

ගෝඨාභය සමඟ  “වේරැස් ගඟේ ” පැටලුණ භාතිය – සංතුෂ්

Published

on

‘වේරැස් ගඟ ව්‍යාපෘතිය’ සඳහා වෙන් කරන ලද මුදල් ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව එම ව්‍යාපෘතියේ මූලික අදියරේ උත්සව කටයුතුවලට වියදම් කර රජයට රුපියල් ලක්ෂ 276ක පාඩුවක් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වෙන නඩුවේ සැකකරුවන් ලෙස භාතිය – සන්තුෂ් යන ජනප්‍රිය ගායක යුගල නම් කරන ලෙස විත්තියේ නීතීඥ නුවන් ජයවර්ධන මහතා ඉල්ලා සිටියේය.

ඒ, ඊයේ (05) මේ සම්බන්ධව නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවනු ලැබූ අවස්ථාවේ දීය.

ආරක්‍ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම්, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  මහතාද මෙහි සැකකරුවෙකු ලෙස නම් කරන ලෙස නීතීඥවරයා විසින් එහිදී ඉල්ලා සිටින ලදී.

ගෝඨාභය රාජපක්ෂ මහතා එවකට ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කළ අතර, නාගරික සංවර්ධන අධිකාරිය පැවතියේ ඔහු යටතේ ය.

විත්තියේ නීතීඥ නුවන් ජයවර්ධන මහතා මෙම සිදුවීමේ දෙවන සැකකාරිය ලෙස අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මගින් අත්අඩංගුවට ගනු ලැබූ ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ හිටපු සාමාන්‍යාධිකාරි වන එම්.ඒ.ශ්‍රීමති මල්ලිකා කුමාරි සේනාධිර නමැති සැකකාර කාන්තාව වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටියේය.

බෙල්ලන්විල ඇවිදින මංතීරුව ද ඇතුළත් වූ වේරැස් ගඟ ව්‍යාපෘතියේ පළමු අදියර විවෘත කිරීම වෙනුවෙන් පැවැත් වූ අති දැවැන්ත විවෘත කිරීමේ උත්සවය වෙනුවෙන් නිසි ක්‍රමසම්පාදන ක්‍රියාවලියක් අනුගමනය නොකර රජයේ මුදල් ඒ වෙනුවෙන් වැය කිරීම සම්බන්ධයෙන්, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් ඉඩම් ගොඩකිරීමේ සංවර්ධනය කිරීමේ සංස්ථාවේ හිටපු සාමාන්‍යාධිකාරීවරිය අත්අඩංගුවට ගෙන තිබුණි.

අල්ලස් කොමිසමේ සහකාර නීති අධ්‍යක්ෂ නීතිඥ සුලෝචනා හෙට්ටි ආරච්චි මහත්මිය කරුණු දක්වමින් පැමිණිල්ලට පාදක වූ වේරැස් ගඟ ව්‍යාපෘතියේ පළමු අදියර විවෘත කිරීමේ උත්සව කටයුතු සඳහා රජයෙන් මුදල් වෙන්කර නොතිබියදී ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව ව්‍යාපෘතිය සඳහා රුපියල් ලක්ෂ 276 ක් වෙන්කර ඇතැයි දැනුම් දුන්නාය.

ඉහළ බලධාරීන්ගෙන් ඇතිවන පීඩා නිසා එම සංස්ථාවේ හිටපු සාමාන්‍යාධිකාරිවරියන් දෙදෙනෙකු එම තනතුරින් ඉල්ලා අස්වීමෙන් පසුව තම සේවාදායිකාව ඒ සඳහා පත්කර ඇති බව ද විත්තියේ නීතිඥවරයා අධිකරණයට පෙන්වා දුන්නේය.

එම ව්‍යාපෘතිය 2014 සැප්තැම්බර් 9 වන දා විවෘත කිරීමට නියමිතව තිබී ඇති බවත් ප්‍රසම්පාදන ක්‍රියාවලිය සිදුකිරීම සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලියේ සාමාජිකයන්ට දැනුම් දී ඇත්තේ සැප්තැම්බර් 5 වන බව ද ඔහු පැවසීය.

දින හතරක් වන කෙටි කාලයක් තුළ එම ප්‍රසම්පාදන ක්‍රියාවලිය සිදු කිරීමට සිදුව ඇති බවත් එම ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ප්‍රධානියා ලෙස කටයුතු කර ඇත්තේ එම සංස්ථාවේ සභාපතිවරයා බවත් ඔහු සඳහන් කළේ ය.

එවකට ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා වශයෙන් හිටපු ගෝඨාභය රාජපක්ෂ මහතා එම ව්‍යාපෘතිය නැරඹීම සඳහා පෙරහුරු පවා පවත්වා ඇති බවත් එවන් තත්ත්වයක් තුළ තම සේවාදායිකාව කටයුතු කර ඇත්තේ දැඩි පීඩනයෙන් බවත් විත්තියේ නීතීඥ නුවන් ජයවර්ධන මහතා සඳහන් කළේය.

මෙම විවෘත කිරීමේ උත්සවයේ සියලුම කළමනාකරණය කිරීමේ කටයුතු භාතිය ජයකොඩි නමැති අයෙකුට අයත් “ෂෝටවුට් එන්ටර්ටේට්මන්ට්” නමැති ආයතනයකට භාර දී ඇති බවත්, ඒ සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂට හා භාතිය සන්තුෂ් යන දෙපළ මෙම සිද්ධියේ සැකකරුවන් ලෙස නම් කළ යුතුව ඇති බවත් නීතිඥවරයා අධිකරණයට පෙන්වා දුන්නේ ය.

විත්තියේ නීතීඥ නුවන් ජයවර්ධන මහතා අධිකරණය හමුවේ පවසා සිටියේ තම සේවාදායිකාව අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ සාමාජිකාවක් වශයෙන් කටයුතු කර ඇති නමුත් ඇය ක්‍රියාකර ඇත්තේ ඇයට ඇතිවූ පීඩනය හා ඇයට හැකි පමණින් බවය.

සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කළ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම අධිකරණය හමුවේ කියා සිටියේ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ හිටපු සභාපති හර්ෂාන් ද සිල්වා යන අය මෙම සිද්ධියේ පළමු සැකකරු වන බවත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු මේ වන විට ඇප මත මුදාහැර සිටින බවය.

අධිකරණය වෙත ඉදිරිපත් කළ දෙවන සැකකාරිය සම්බන්ධයෙන් සුදුසු නියෝගයක් ලබා දෙන ලෙසද ඉල්ලා සිටිනු ලැබීය.

දෙපාර්ශවයේ දැක්වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය සැකකාර කාන්තාව රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙසට නියෝග කලාය.

අදාළ නඩුව ජූනි 24 වන දා නැවත කැඳවීමට නියමිතය.

පුවත්

උතුරු කොරියාවට සයිබර් ප්‍රහාරයක්

Published

on

By

උතුරු කොරියාවේ අන්තර්ජාල සම්බන්ධතාව පැය කිහිපයක් පුරාවට හදිසියේ බිඳ වැටීමට මෙතෙක් නිෂ්චිත හේතුවක් අනාවරණය වී නැතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

උතුරු කොරියාවේ අද (07) අන්තර්ජාල සම්බන්ධතාවය පැය කිහිපයක් පුරා හදිසියේ බිඳ වැටීමකට ලක්වුණු අතර මේ හේතුවෙන් රජයේ වෙබ් අඩවි සහ නිල ප්‍රවෘත්ති සේවාවන් වෙත ප්‍රවේශයට සම්පූර්ණයෙන්ම ඇනහිට තිබුණි.

කෙසේ වෙතත් උතුරු කොරියාවේ අන්තර්ජලය සහ තාක්ෂණ යටිතල පහසුකම් නිරීක්ෂණය කරනු ලබන පර්යේෂකයින් යෝජනා කර ඇත්තේ එය සයිබර් ප්‍රහාරයකට වඩා අභ්‍යන්තර ගැටළුවක් විය හැකි බවය.

මෙම අන්තර්ජාල සම්බන්ධතාව ඇනහිටීමත් සමග උතුරු කොරියාවේ ප්‍රධාන නිල ප්‍රවෘත්ති සේවා, විදේශ අමාත්‍යංශය සහ ජාතික ගුවන් සේවය වන එයාර් කොරියෝ ඇතුළු ප්‍රධාන වෙබ් අඩවි ගණනාවක ප්‍රවේශය අවහිර වූ අතර එය එරට වේලාවෙන් දහවල් දක්වා පැවැති බවද වාර්තා වේ.

උතුරු කොරියාව ලොව වඩාත්ම දැඩි ලෙස පාලනය කරන ලද අන්තර්ජාල පද්ධතිවලින් සමන්විත රටක් වන අතර එයට ඕනෑම ආකාරයක මාර්ගගත සන්නිවේදනයකට ප්‍රවේශයද ඇතුළත් වේ.

සාමාන්‍ය ජනතාවට ප්‍රවේශය ඇත්තේ රජය විසින් පිහිටුවන ලද අන්තර් ජාලයකට පමණක් වන අතර එය පුළුල් ගෝලීය ජාලයකට සම්බන්ධ වී නොමැත. 

කෙසේ නමුත් රජයේ සහ ප්‍රභූ කිහිප දෙනෙකුට පමණක් විවෘත අන්තර්ජාල සම්බන්ධතාවක් හිමිව ඇත.

මේ අතර විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ උතුරු කොරියාව පසුගිය වසරවලදී සයිබර් ප්‍රහාර හේතුවෙන් ඇතිවූ බවට සැක කෙරෙන විශාල අන්තර්ජාල ඇනහිටීම්ද අත්විඳ ඇති බවය.

Continue Reading

පුවත්

ලංකාවට නො ආ රට හරක්ට ගෙවූ කෝටි 211 නිලධාරීන්ට ගෙවන්න නියෝගයක්

Published

on

By

ග්‍රාමීය ආර්ථික අමාත්‍යාංශය කිරි ගවයන් 15000ක් ආනයනය කිරීමට අදාළව ගෙවන ලද කෝටි 211 ක  මුදලක් අය කරගැනීමට කටයුතු නොකිරීම හේතුවෙන් සිදුවූ පාඩුව එම කටයුත්තට දායක වූ සියලු බලධාරීන්ගෙන් අය කරගැනීමට කටයුතු කරන ලෙස  ජාතික විගණන කාර්යාලය නිර්දේශ කර ඇත.

විගණන ප්‍රධානීන් එම නිර්දේශය කර ඇත්තේ කිරි ගවයන් ආනයනය කිරීමේදී සිදුවී ඇතැයි පැවසෙන දූෂණ වංචා සහ අක්‍රමිකතා පිළිබඳව සොයා බැලීමට කෙරුණු විගණනයට අදාල විශේෂ විගණන වාර්තාවෙනි.

මෙම පාඩුව සඳහා දායක වූ සියලු දෙනාටම දැඩි නීතිමය හා විනය ක්‍රියාමාර්ග ගත යුතු බවටද විගණන ප්‍රධානීන් නිර්දේශ කර ඇත.

කිරි ගවයන් ආනයනයට පෙර ගෙවන ලද රුපියල් කෝටි 175 කට ආසන්න අත්තිකාරම් මුදල සහ ණය මුදලින් කොටසක් සහ  ඊට අදාල පොලිය මෙම මූල්‍ය පාඩුවට  ඇතුළත් වන බව ජාතික විගණන කාර්යාලය පවසයි.

මූලික කාර්යභාරය  ඉටුකිරීමෙන් තොරව සහ විගණන අංශ ලබා දී තිබූ  නිර්දේශ නොතකා හරිමින්  කිරි ගවයන් ආනයනයට මෙසේ අත්තිකාරම් මුදල් නිදහස් කර තිබූ බවත්  එම මුදල් පසුගිය වසරේ දෙසැම්බර් මස 31 වැනිදා වන විටද අය කරගෙන නොතිබූ බවත් වාර්තාවේ දැක්වේ.

කිරි ගවයන් නොගෙන්වා මෙපමණ ඵලදායි නොවන වියදමක් දරා තිබියදී කිරි ගොවීන්ට සහන සැලසීම සඳහා හදිසි අවස්ථා අරමුදලින් රුපියල් කෝටි තිහක් වෙන් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය අපේක්ෂා කර තිබූ බවද විශේෂ විගණන වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

(ලංකාදීප)

Continue Reading

පුවත්

ලංකාව දුන් පොරොන්දු ඉටුකරනවාදැයි බලන්න IMF දෙවැනියා ලංකාවට

Published

on

By

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලයේ මීළඟ රැස්වීමට පෙර විදුලිය මිල වැඩි කිරීම ඇතුළු ශ්‍රී ලංකා ආණ්ඩුව පොරොන්දු වූ ගිවිසුමේ කරුණු ඉටුවේදැයි දැනගැනීම පිණිස විශේෂ සාකච්ඡාවක් සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ, ගීතා ගෝපිනාත් මහත්මිය සහ ආසියානු කලාපීය අධ්‍යක්ෂ ක්‍රිෂ් සිරිනිවාසන් මහතා ලබන සතියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. 

ගෝපිනාත් මහත්මිය මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරියට පමණක් දෙවැනි වන ප්‍රධාන නිලධාරිනියයි.

මෙම ඉහළ පෙළේ දූත පිරිස ශ්‍රී ලංකා මහ බැංකුව සහ ජනාධිපතිවරයා සමඟ විශේෂ සාකච්ඡා වට දෙකකට සහභාගි වනු ඇතැයි දැනගන්නට තිබේ.

විදුලිය මිල සූත්‍රයක් ක්‍රියාත්මක කිරීම ඇතුළු මීට පෙර ඇති කරගත් කාර්ය මණ්ඩල එකඟතා ඉටුකිරීම සම්බන්ධව මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ මතය දැනගැනීම ඔවුන්ගේ ශ්‍රී ලංකා සංචාරයේ ප්‍රධාන අරමුණ බවද සඳහන්ය.

(දේශය)

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved